Thursday, October 27, 2011

චතුරංගි, අනුරාධා, සුපේශලා තුන් සොහොයුරියන්ගේ භාරත නාට්‍ය අරංගේත්‍රම් මංගල්‍යය

චතුරංගි, අනුරාධා, සුපේශලා තුන් සොහොයුරියන්ගේ
භාරත නාට්‍ය අරංගේත්‍රම් මංගල්‍යය



කලාවට අධිපති සරස්‌වතී දෙවඟනගෙන් වරම් ලබමින් ඉදිරිපත් කරන නර්තනය, විටෙක අපේ සිත් සතන් සමාධි ගතකරන බව නොරහසකි. සමාජගත සිරිත් විරිත් අනුව යමින් අද යොවුන් දැරියෝ නාට්‍ය අභිෂේකයට පුරුදු පුහුණුව ලබති. එසේ පුහුණුවන මානවිකාවන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ, සිය පුහුණුව අවසන, ප්‍රසිද්ධියේ සිය ශිල්ප ගෙනහැර පෑමට වරය ලබා ගැනීමයි. ඔවුන් එසේ රංගාභිෂේකය ලබන්නේ නෑදෑ හිතවතුනගේ සෙනෙහෙබර සහභාගිත්වයෙනි. ඔවුන් අභිමුවේ සිය නර්තන කුසලතා ප්‍රදර්ශනය කිරීම, මෙවැනි දැරියනට ඉමහත් ප්‍රබෝධයක්‌ ඇති කරවන්නකි.

ඉකුත් දිනක එවැනි වූ රංගාභිෂේකයක්‌ දැක බලා ගනිමින් නෙතු පිනවා ගැනීමේ දුර්ලභ අවස්‌ථාවක්‌ අපටද හිමිවිය. මෙනෙවියන් තිදෙනෙක්‌ සහභාගි වූ මෙහි සුවිශේෂත්වය වනුයේ ඔවුන් තිදෙනාම එකම පවුලේ සහෝදරියන් වීමය. ඒ තිදෙනානම් චතුරංගි, අනුරාධා සහ සුපේශලා කොළඹතන්ත්‍රීය. මේ සොහොයුරියන් රංගාභ්‍යාසය හා උඩරට නැටුම් කලඑළි මංගල්‍යය ද පැවැත්වූයේ එකට එක්‌වය. කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී භරත නාට්‍ය අරංගේත්‍රම් මංගල්‍යය අරඹමින් සපුරාලන්නට තිබුණු චාරිත්‍ර - වාරිත්‍ර පුරණු ලැබුවේත් තිදෙනාම එකට එක්‌වය. මෙලෙස ඒ රංගාභිෂේක මංගල්‍ය ද්ව්‍යය වැනි නාට්‍ය අවස්‌ථාවක්‌ මෙයට පෙර කිසිසේත්, කිසි තැනෙක සිදු නොවූ බව නිසැකය. මක්‌නිසාදයත්, එවැනි සිද්ධිමය පද්ධතියක්‌ එකට එක්‌වීමක්‌ කිසිකලෙක සිදුවිය නොහැකි හෙයිනි. මේ තුන් සොයුරියන්ගේ ද්විත්ව රංගාභිෂේකය, ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව සමස්‌ත ලොව තුළම අසහාය වාර්තාවක්‌ වන්නටද පිළිවන.

ඔවුනගේ නර්තන මංගල්‍යයට එක්‌වූ විචාරකයන්, සාමාන්‍ය රසිකයන් ඇතුළු සැමගේ මතය වූයේ ඒ දැරියනගේ රංගනය, අතිශයින්ම ප්‍රවීණ ලක්‌ෂණ පිළිඹිබු කරන්නක්‌ම බවය. ඒ නර්තනය සැබැවින්ම ගැඹුරු ශිල්පීය ප්‍රවීණත්වයකින් අලංකාර වූ සංදර්ශනයක්‌ බව ලිවිය යුතුමය.

මේ රංග මංගල්‍යය ද්ව්‍යයට පැය අටක්‌ පමණ කාලයක්‌ ගතවුණේය. එවැනි වූ දිගු කාල පරිච්ඡේදයක්‌ තුළදී මේ තුරුණු දියණියන් තිදෙනා කිසිම වෙහෙස මහන්සියකින් තොරව, සිය රංගන ක්‍රියාදාමය පවත්වාගෙන යැම සැබැවින්ම පැසසිය යුත්තකි. වයසින් මුහුකුරා ගිය, අති ප්‍රවීණ රංගන ශිල්පීන්ට වුවද, එතරම් දීර්ඝ වේලාවක්‌ මුළුල්ලේ සිය රංගනයන් පවත්වාගෙන යැම අසීරු කටයුත්තකි.

මේ රංගාභිෂේක මංගල්‍යයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතු සාධකය ලෙස දැරියන් තිදෙනාගේ අචල ධෛර්යත්, අප්‍රතිහත කැපවීමත්, නිරන්තර අභ්‍යාසයෙහි යෙදීමත්, ඔවුනගේ ශික්‌ෂණයත් ගෙනහැර දැක්‌විය හැකිය.

මේ දියණියන් තිදෙනාගේ රංග මංගල්‍යය සාර්ථක වනු දැකීම උදෙසා නිබඳව දිරි දුන්, ඔවුනගේ ආදරණීය දෙමාපිය යුවළ වන, රෝහණ පෙරේරා කොළඹතන්ත්‍රී මහතාත්, නිර්මලා පෙරේරා මහත්මියත් මෙහිලා ප්‍රශංසාවට ලක්‌ කළ යුතුමය.

මේ අපූරු රංගාභිෂේකය සාර්ථක කළ තවත් ප්‍රධාන චරිත දෙකක්‌ වන ඔවුනගේ කලඑළි රංගාභිෂේකය සිදු කළ ඇදුරුතුමන් වන කීර්තිමත් රංග විශාරද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක කලා ගුරුතුමාත්, සොයුරියන් තිදෙනාහට භරත නාට්‍ය ආරංගේත්‍රම් ප්‍රගුණ කළ නාට්‍ය ගුරු, නාට්‍ය භූෂණ ජයන්ත කුමාර කරුණාසේකර ප්‍රවීණාචාර්යවරයාත් ගෞරවය මුසුවූ කෘතවේදීත්වයෙන් සිහිපත් කළ යුතු වේ.

කලඑළි රංගාභිෂේකය ඉදිරිපත් කළ දියණියන් තිදෙනා අතුරින්, වැඩිමහල් දියණිය, චතුරංගි නිරෝෂා කොළඹ තන්ත්‍රී විටෙබ්ස්‌ වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරෙහි හැදෑරීම් හි නිරතවන්නියකි. දෙවන දියණිය තායිලන්තයේ බැංකොක්‌ නගරයේ ඉංජිනේරු විද්‍යාව හදාරන්නීය. ඇය නමින් අනුරාධා කොළඹතන්ත්‍රීය බාල දියණිය සුපේශලා කොළඹතන්ත්‍රී කොළඹ මියුසියස්‌ විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවකි.

අසහාය වූ නාට්‍ය රංගාභිෂේකයකින් සිය යොවුන් කෞශල්‍යයන් ප්‍රදර්ශනය කළ මේ දිරිය දියණියන් තිදෙනාගේ ජීවන රිද්මයන් අතිශයින්ම විශිෂ්ටවනු ඇති බව අපගේ ඒකායන බලාපොරොත්තුවයි. "දිවයින සිනමා කලා" අපි, ඔවුනට සුබ පතමු.

සටහන - සුජීව තත්සර

Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money