Tuesday, October 11, 2011

කුස පබා

2011 සැප්තැම්බර් මස 26 13:18:49 | Copy Rights  ලංකාදීප කර්තෘ මණ්ඩලය
 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 19 වැනි සිනමා දිගහැරුම වන ‘කුස පබා’ හි රූගත කිරීම් මේ වනවිට අවසන් කොට තිබෙනවා. පන්සිය පනස් ජාතක පොතෙහි සුවිශේෂී ජාතක කතාවක් වන කුස ජාතකය ඇසුරින් නිර්මාණය කරන ලද ‘කුස පබා’ මෙරට සිනමා ක්‍ෂේත‍්‍රයට නවමු අසිරියක් ගෙන දෙන සිනමා නිර්මාණයක් වනු ඇතැයි බොහෝ විචාරකයන් පවසා සිටිනවා.
”පන්සිය පනස් ජාත පොතේ එන ජාතක කතා අතර, ඉතාම ජනප‍්‍රිය ජාතක කතා අතළොස්ස අතරින් එකක් තමයි කුස ජාතකය
කියන්නෙ. කුස ජාතකය සිනමාවට නැඟීමේ අදහස මා තුළ තිබුණේ මීට වසර 15 කට පමණ පෙර සිටයි. කව්සිළුමිණ හා කුසදා කව යන පැරණි කාව්‍ය කියවූ දා පටන්ම කුස ජාතකය සිනමාවට නැඟීමේ සිහිනය දැක්කා. ඒ සිහිනය දැක වසර පහකට පමණ පසුව තිස්ස අබේසේකර ලවා මෙහි තිර නාටකය ලියවා ගත්තා. එයිනුත් වසර පහකට පමණ පසුව තමයි මෙය නිෂ්පාදනය කරන්න ලැබුණේ.
මේක දැවැන්ත නිෂ්පාදනයක්. මේ චිත‍්‍රපටය සඳහා නිෂ්පාදන මඬුල්ලක් ඉන්නවා. ධම්මික සිරිවර්ධන, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, උදයකාන්ත වර්ණසූරිය, එච්.ඞී. පේ‍්‍රමසිරි, සුනිල් ටී. ප‍්‍රනාන්දු, තිස්ස නාගොඩවිතාන, ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ, රසික ජිනදාස, ජස්ටින් බෙලගමගේ ඒ නිෂ්පාදක පිරිසයි.
සිනමාස්කෝප් ප‍්‍රමාණයේ චිත‍්‍රපටයක් ලෙස EAP මණ්ඩලයේ සිනමාහල් වල ජනවාරි මාසයේ සිට මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට නියමිතයි” යනුවෙන් චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියා.
‘කුස පබා’ සිනමා නිර්මාණ දින 40 ක කාලයක් පුරා රන්මිණිතැන්න මහින්ද රාජපක්‍ෂ සිනමා ගම්මානයේ සහ දඹුල්ල, සීගිරිය, අනුරාධපුර යන ප‍්‍රදේශවල රූගත කොට තිබෙනවා.
‘කුස පබා’ චිත‍්‍රපටය නිර්මාණය කිරීමේදී සුවිශේෂීම සිදුවීම බවට පත්ව තිබුණේ කුස රජුගේ විරූපී මුහුණ සැකසීමයි. මේ සඳහා ඉන්දියානු වේෂ නිරූපණ ශිල්පීන් ගෙන්වා ගැනීමට සිදුවූ බව පැවසෙනවා. මේ සඳහා ඉන්දියානු වේෂ නිරූපණ ශිල්පීන් ගෙන්වූයේ ලංකාවේ වේෂ නිරූපණ ශිල්පීන්ට එම කටයුත්ත කළ නොහැකි නිසාදැයි අප චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන සුනිල් ආරියරත්නයන්ගෙන් විමසා සිටියා.
”මේ චිත‍්‍රපටයේ ප‍්‍රධානම කරුණ වූයේ කුස රජුගේ නාසය නිර්මාණය කිරීමයි. මේ සඳහා දේශීය වේෂ නිරූපණ ශිල්පීන් සමග උත්සාහයන් කිහිපයක් දැරුවත් එය අසාර්ථක වුණා. එවන් පසුබිමක තමයි අපට ඉන්දියාවේ ප‍්‍රධාන පෙළේ වෙස් ගැන්වීම් ශිල්පියෙකු වන අනිල් සහ ප‍්‍රතාප් යන දෙදෙනා සම්බන්ධ කරගන්න සිදුවුණේ. ඔවුන් කමලහසන්ගේ චිත‍්‍රපට රැසක වේෂ නිරූපණ ශිල්පීන් ලෙස කටයුතු කළ අයයි. අප ඔවුන් දෙදෙනා සමග කළ අත්හදා බැලීම් සාර්ථක වූ නිසා මේ චිත‍්‍රපටය සඳහා ඔවුන් එක්කර ගත්තා.
කුස රජුගේ නහය සඳහා ඉන්දියාවේ සිට නාසයන් 30 ක් ගෙන්වන්න සිදුවුණා.
මොකද එම නාසයන් දිනක රූගත කිරීම් වලට යොදාගත්තට පස්සෙ යළි භාවිත කරන්න බැහැ. මෙවැනි අභියෝගාත්මක තත්ත්වයන්ට අපට මුහුණ දෙන්න වුණේ එකී ඉන්දීය ශිල්පීන් සමගයි”
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සෙසු සිනමා කෘති මෙන් ඔහුගේ 19 වැනි සිනමා කෘතිය වන ‘කුස පබා’ කෙරෙහිද පේ‍්‍රක්‍ෂක අවධානය තදින් යොමුවී, නිර්මාණාත්මක සංවාදයන් ගොඩනැංවීමට සමත්වනු ඇතැයි දැනටමත් මත පළව තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ සඵල වී ඇති කුස ජාතක සිහිනයේ අවසන් ඵලය කෙසේ වේදැයි අපි ජනවාරි මාසයේ දී දැක ගනිමු.
අධ්‍යක්‍ෂණය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තිර රචනය හා දෙබස් : ආචාර්ය තිස්ස අබේසේකර
ඉදිරිපත් කිරීම : ශී‍්‍ර ලංකා සිනමා නිර්මාණ සංසදය
කැමරා අධ්‍යක්‍ෂණය : චන්න දේශප‍්‍රිය
සහය අධ්‍යක්‍ෂණය : දමින්ද මඩවල
සංස්කරණය : රවින්ද්‍ර ගුරුගේ
කලා අධ්‍යක්‍ෂණය : හීනටිගල පේ‍්‍රමදාස
වේෂ නිරූපණය : අනිල්, ප‍්‍රතාප් ඇතුළු ඉන්දීය පිරිස හා සමීර, චන්ද්‍රසිරි ඇතුළු පිරිස
වස්ත‍්‍ර නිර්මාණය : දෙනුක වික‍්‍රමාදර
සංගීතය : රෝහණ වීරසිංහ
සංගීත සංයෝජනය : සුරේෂ් මාලියද්ද
නර්තන නිර්මාණය : චන්දන වික‍්‍රමසිංහ
විධායක නිෂ්පාදනය : සෝමරත්න දිසානායක
රේඛීය නිෂ්පාදනය : රේණුකා බාලසූරිය
රංගනය : ජැක්සන් ඇන්තනි, පූජා උමාශංකර්, රවින්ද්‍ර රන්දෙනිය, චාන්දනී සෙනෙවිරත්න, පාලිත පෙරේරා, කුසුම් රේණු, මහේන්ද්‍ර පෙරේරා, මහින්ද පතිරණගේ
සටහන
නිරෝෂාන් පේ‍්‍රමරත්න
ඡායාරූප ක‍්‍රිශාන් රණසිංහ


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money