මහා කලාකරු ටයිටස් තොටවත්තයන් විසින් සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයට කරන ලද වෙසෙස් සේවාව පිළිබඳව විවිධ ජනමාධ්‍යවලින් දැනටමත් විවිධ අදහස් ප්‍රකාශ වී ඇත. ඔහු සමඟ හිඳිමින් ඔහුගේ නිර්මාණයන්ට සහයවෙමින් මා ලැබූ යම් දෙයක් වේද ඒ ගැන භක්‌ති ප්‍රණාමයෙන් ස්‌මරණය කරමින් ඔහු රූපවාහිනී මාධ්‍යයේදී කරන ලද පෙළහර දෙකක් පිළිබඳව මෙසේ සටහන් කරන්නේ ඔහුගේ නිර්මාණ ප්‍රතිභාව ගැන අද නිර්මාණ පරපුරට එය මහඟු ආදර්ශයක් සපයන බැවිනි.
චිත්‍රපටි හා හඬ කැවීම් අංශය නමින් නව අංශයක් ටයි මහත්තයාගේ අදහසක් පෙරදැරිව රූපවාහිනී සංස්‌ථා පරිශයේදි පිහිටවන ලදී. එදවස ටයි මහත්තයාගේ නිර්මාණකරණයට අත් උදව්දීම සඳහා සහය අධ්‍යක්‍ෂවරයකු ඔහුට අවශ්‍ය විය. ඔහුගේ නමට මා තුළ තිබූ බියමුසු ගෞරවය හේතුවෙන් එම අංශයට අනුයුක්‌ත කර තිබූ මා, රාජකාරි කටයුතු භාර ගන්නා ලද්දේ ඉහළ පරිපාලනයෙන් මට ලබාදුන් දඬුවමක් සේ සලකමිනි. කරුණාවෙන් මට කතා කළ ටයි මහත්තයා ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියට ගොස් පෙරලා පැමිණීමේ දී රැගෙන ආ Umatic කැසට් පට දෙකක් මා අත තැබීය.
"මේ කාටුන් චිත්‍රපට දෙකක් මේක සිංහලෙන් Dub කරන්න මට හොඳ හඬවල් කිහිපයක් ඕන" ටයි මහත්තයා මට කියා සිටියේය.
එවිට මගේ සිහියට ආවේ මාගේ පාසල් සගයකු වූ සමන් අතාවුදහෙට්‌ටි සහ ඔහුගේ ලන්දේසි දූපත ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධ වූ පිරිවරක් ගැනය.
"හරි ටයි මහත්තයා මන් දෙන්නෙක් තුන්දෙනෙක් ගේන්නම් ටයි මහත්තයට හොඳනම් සම්බන්ධ කරගමු" එසේ පවසමින් මම රූපවාහිනී සංස්‌ථාව ඉදිරිපසින් පිහිටි ගුවන් විදුලියට ගොඩ වැදුනෙමි. එහි සේවය කළ සමන්ට ටයි මහත්තයාගේ අවශ්‍යතාවය පැවසූ පසු ඔහු කරුණාතිලක හඳුවල, පරාක්‍රම පෙරේරා සහ ලෙස්‌ලි රාමනායකයන් සමඟ ටයි මහත්තයා හමුවීමට පැමිණියේය.
රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ සිංහලෙන් හඬ කවන ලද පළමු රූපවාහිනී කාටුන් වැඩසටහන හඬකැවීම් සඳහා සියල්ල සූදානම් විය. රූපවාහිනියේ සේවය කරමින් සිටිය දී අප අතරින් වියෝ වූ ප්‍රවීණ සංස්‌කරණ ශිල්පි ගාමිණී මාතර ආරච්චි කැසට් පටය Umatic කැසට් ඩෙක් යන්ත්‍රයට දැමුවේය. තත්පර 10 ක් ආපස්‌සට ගොස් අදාළ රූපරාමුව රූපවාහිනී තිරයේ ප්‍රදර්ශනය වන විට තමන්ගේ චරිතයට හඬ මුසු කිරීම සඳහා සමන්, හඳුවෙල, පරාක්‍රම, ලෙස්‌ලි සූදානම් වී ඇසිපිය නොහෙලා බලාගෙන සිටියහ. ටයි මහත්තයා ඔවුන්ට උපදෙස් දෙමින් අලුත් අත්හදා බැලීම ප්‍රායෝගිකව දියත් කළේය. එය අතිශයින්ම සාර්ථක විය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ පස්‌වන සංවත්සර දිනයේ දී සිංහලෙන් හඬ කවන ලද මෙම කාටුන් වැඩසටහන ප්‍රේක්‍ෂකයින් හට තිළින කරන ලදී. 'ලොකු බාස් පොඩිබාස්' සහ 'අහළ පහළ' යනුවෙන් එම කාටුන් චිත්‍රපටි දෙක එසේ රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයට එක් විය. එහි නිර්මාණ කටයුතුවලදී ටයි මහත්තයාට සහය වීම පිළිබඳ අහිංසක සතුටක් මම සැමදා ලබන්නෙමි.
ටයි මහත්තයා විසින් රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ කරන ලද අනිත් සුවිශේෂී පෙළහර නම් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරමින් ඒ මොහොතේදීම සජීවීව එම ටෙලි නාට්‍ය නිර්මාණය විකාශය කිරීමය.
"වැටත් නියරත්" යනුවෙන් නම් කරන ලද එම ටෙලිනාට්‍යයේ රඟ පෑම් සඳහා ජයලත් මනෝරත්න, ග්‍රේස් ආරියවිමල්, එලන් සිල්වෙස්‌ටර් සහ රාජා සුමනපාල සහ තවත් නළුනිළියෝ කිහිප දෙනෙක් ටයි මහත්තයා විසින් තෝරා ගනු ලැබූහ.
ජන කලා කේන්ද්‍රයේ උඩු මහලෙහි බිම මත කඩදාසි ටේප් අලවමින් රංගනයේ දී නළු නිළියන්ට යා හැකි දුර පිළිබඳ අවබෝධයක් ටයි මහත්තයා විසින් ලබා දෙන ලදී. පසුතලයන් 04 ක් මාරු වෙමින් එය ටෙලි නාට්‍ය නිර්මාණයට සම්බන්ධ වෙන අයුරු පසුතල නිර්මාණ ශිල්පි හීනටිගල ප්‍රේමදාසයන් හට පෙන්වා දෙමින් එයින් නොනැවතුනු ටයි මහත්තයා සමහර අවස්‌ථාවලදී අදාළ පසු තලයන් ඇඳ තමාට අවශ්‍ය දේ ඔහුට පැහැදිලි කර දුන්නේය. පුරා සති දෙකක් පෙර පුහුණුවීම් කටයුතුවල නළු නිළියෝ නියෑලුනහ. අදාළ පසුතලයෙහි නළු නිළියන් රඟපාන විට එය කැමරා කෝණයන්ට හසුකර ගන්නා ආකාරය පිළිබඳ සවිස්‌තරයක් ටයි මහත්තයා විසින් ලියාගෙන ආවේය. එහි පිටපත් කැමරා ශිල්පීන්ටත් එම ටෙලිනාට්‍යයට සම්බන්ධවූ අනෙකුත් තාක්‍ෂණ ශිල්පීන් අතරේත් බෙදා දෙන ලදී.
පෙබරවාරි 04 වන දා උදාවිය. එදින රාත්‍රි 07 ට මැදිරි අංක 01 මෙහෙයුම් මැදිරියේ ඇති අධ්‍යක්‍ෂ පුටුවේ වාඩි වූ ටයි මහත්තයා තමන් කරන්නට යන අලුත් අත්හදා බැලීම ගැන විස්‌තරයක් ප්‍රේක්‍ෂකයන්ට ගෙන හැර පෑවේය. නැසීගිය ප්‍රවීණ කලා ශිල්පී යූ. ආරිය විමල්, මමත්, අතුලත් සුරේශ් තම්බිපිල්ලේත් ටයි මහත්තයාගෙන් අදාළ විධානයන් එන තෙක් බලා සිටියහ. මනෝ වෙරිමතින් ගෙදරට එන දර්ශනයෙන් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ විය. ඒ මොහොතේ දීම එකී විකාශන කටයුතු ද ඇරඹිණි. අපගේ හදවත්වල කිසියම් තැනක තැම්පත්ව තිබූ බිය කිසිවෙකූටවත් නොපෙන්වා ටයි මහත්තයාට අවනතවෙමින් මෙම නැවුම් අත්දැකීම සාර්ථකව නිම වන තෙක් නොඉවසිල්ලෙන් අදාළ සහය කටයුතුවල නියලුනහ. හරියට 7.59 ට ප්‍රවෘත්ති විකාශය සඳහා මැදිරි අංක 01 මැදිරි අංක 02 ට මාරු වුණේ ටෙලි නාට්‍යයේ විකාශන කටයුතු ද අවසන් වීමෙනි.
ටයි මහත්තයාගේ දැසේ සතුටු කඳුළු විය, අප සැවොම බදාගෙන අප දුන් සහයට ඔහු ස්‌තූතිය පුද කළේය. ඉන් පසුව රූපවාහිනී පරිශ්‍රයෙන් ටයි මහත්තයා සමඟ නික්‌ම ගොස් කැමරා ශිල්පි ගිහාන් සමරනායකලගේ නිවසෙහි මැදියම් රැය වනතෙක් අප සැම නිදහස සැමරූහ. ඒ නිමේෂයේදී ටයි මහත්තයාගේ මුහුණ සොම්නසින් ඒකාලෝක වී තිබුණ අයුරු තවම මැවී පෙනේ.
රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ ටයි මහත්තයා විසින් කරන ලද ප්‍රාතිහාර්යන් දෙකක් පිළිබඳ පමණක් මෙසේ සටහන් තැබුවත් ඔහු විසින් කරන ලද සෑම නිර්මාණයක්‌ම පාහේ ප්‍රාතිහාර්යයකි. ඔහු සතු වූ ද්වීභාෂා පිළිබඳ දැනුම සහ සියලු ආගම් පිළිබඳ වූ දැනුම ඔහුගේ තිර නාටක රචනයට මනා පිටිවහලක් විය. සිනමාවේ දී හෝ රූපවාහිනී මාධ්‍යයේ දී ඔහු විසින් කරන ලද සෑම නිර්මාණයකටම පාදක කර ගත්තේ ඔහු විසින්ම රචිත තිරනාටකයකි. ඔහු හෙළ බසට මනා ලෙස ඇලුම් කළේය. ඔහු ඉතා සංවේදී වූ අවස්‌ථා දෙකක් මගේ මතකයට නැගේ. "මා මළපසු සොහොන් කොතේ" ගීතය කවුරුන් හෝ ගායනා කරන සෑම මොහොතක් පාසා ඔහු පැළඳි උපැස් යුවල අස්‌සෙන් ඔහුගේ දැසින් කඳුළු කැට රූරා කඩා හැලේ. එම ගීතයට ඔහු එතරම් සංවේදීය. ඔහු විසින් හඬ කවන ලද කාටුන් වැඩසටහන්වලට ගී පද යොදමින් ඔහු හා ආත්මීය වශයෙන් සම්බන්ධ වූ ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාණන්ගේ දේහය කලාභවනට රැගෙන ආ මොහොතේ දී කෙලවරකට වී ඔහු ඉකි ගසමින් ඇඬු හැටි අප කාගෙත් දැසට කඳුළු ගලා ආ දසුනක් විය. අවසාන කාලයේ දී ඔහුව බැහැ දැකීමට ඔහුගේ නිවසට අප ගිය සෑම මොහොතකදීම පාහේ ඔහුගේ දැස කඳුළින් තෙත්ව ගියේය. ආත්ම ගණනක් ඔහු සමඟ සපැමිණි ඔහුගේ ආදරණීය බිරිඳ සුජාතා තොටවත්ත මහත්මිය ලෝකයේ වෙසෙන සියලු කලාකරුවන්ගේ බිරින්දැවරුන්ට මහඟු ආදර්ශයකි. ටයි මහත්තයා සද්දන්තයෙකි. ඔහු සමඟ රැහේ ගිය ඔහුගේ ගෝලයකු වීම ගැන මම ආඩම්බර වෙමි. ඔහුගෙන් බැනුම් ඇසූ වාර අනන්තය. නමුත් ඒ සියල්ලම සුන්දර මතකයන් ලෙස මසිතෙහි තැම්පත්ව ඇත. නිර්මාණකරුවෙකු ලෙස ඔහුගේ පෞරුෂයෙන් බිඳක් හෝ නිර්මාණ ජීවිතයට උකහා ගන්නට උත්සාහ කරන්නෙමි. ඔහුට කළ හැකි ගෞරවය එය වේයෑයි මම සිතමි. සද්දන්තයා නික්‌ම ගියේය.
අනුර මාධව ජයසේකර
-
0 comments:
Post a Comment