Sunday, October 16, 2011

අපි වගේ අය කසාද බඳින්න එනවා කියලා

කාන්තාවන්ගේ පිටරට හීන හැබෑ කරන
වරදට සමාව දෙන ප්‍රේමවන්තයෝ


වරදට සමාව දෙමි. වැන්දඹු කාන්තාවක්‌ වුව චරිතවත් හඳහන් ගැලපේනම් සලකා බලමි. විවාහවූ විගස විදේශගතවීමට කැමැති විය යුතුය. වහාම මෙම දුරකථන අංකයට ඇමැතීමෙන් හෝ පහත ලිපිනයට තැපෑලෙන් තොරතුරු දන්වා එවන්න....

මෙලෙස සති අන්ත පුවත්පත්වල මංගල යෝජනා පළකරන වෘත්තීය වංචාකාර මනාලයන් පිරිසක්‌ පිළිබඳ මේ දිනවල පොලිස්‌ ස්‌ථානවලට පැමිණිලි ලැබෙන්නට පටන්ගෙන ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මැක්‌සි ප්‍රොක්‌ටර් මහතා අපට තොරතුරු අනාවරණය කළේය.

මෙම වෘත්තීය වංචාකරුවන්ට හසුවී ඇත්තේ ගම්බද කාන්තාවන් පමණක්‌ නොව නාගරික ප්‍රදේශවල සහ ධනවත් ඉහළ පැලැන්තියේ කාන්තාවන් පවා මොවුනට හසුව සිටින බව හෙතෙම සඳහන් කළේය.

වයස අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන අවිවාහක කාන්තාවන් දික්‌කසාදවූ කාන්තාවන්, සැමියා මියගොස්‌ වැන්දඹුවන් වූවන් මෙලෙස මෙම වෘත්තිය වංචාකාර මනාලයන්ට බහුලවම හසුව ඇති බව වාර්තා වී තිබේ.

කාන්තාවකගේ ජීවිතයේ වැදගත්ම අවස්‌ථාවක්‌ ලෙස විවාහය හැඳින්විය හැකිය. ඒ සඳහා කාන්තාවෝ දහසක්‌ පැතුම් දරාගෙන සිටිති. ඇතැම් කාන්තාවෝ ප්‍රේම සබඳතා මගින් විවාහ වෙති. තවත් කාන්තාවෝ මංගල යෝජනා මගින් විවාහ වෙති. අතීතයේදී නම් මංගල යෝජනා ගෙන ආවේ මඟුල් කපුවන්ය. නමුත් නවීන තාක්‍ෂණයත් සමඟ වර්තමානයේ මඟුල් කපුවන් වී ඇත්තේ අන්තර්ජාලය, පුවත්පත් ආදියයි.

මගුල් කපුවන් මාර්ගයෙන් විවාහ යෝජනා ගෙනඑන විට කපු මහතා මනාලයාගේ වගතුග සොයාගෙන පැමිණේ. ඔහු විසින් කෙබරයක්‌ ඇදබෑවොත් කපුවා කපෝතිය. තමාගේ ආදායම් මාර්ගය මඟුල් කපුකම නිසා බොහෝ කපු මහත්වරුන් කපෝතිවීමට අකමැතිය. එනිසා මනාලයාගේ සැබෑ තොරතුරු දැනගෙන ඊට අඩුම කුඩුම ටිකක්‌ වැඩිකර මනාලියගේ පාර්ශ්වයට පැවසීමේ අහිංසක ප්‍රයෝගයක ඇතැම් කපු මහත්වරු යෙදුණාහ.

නමුත් වර්තමානයේ සියල්ල නවීකරණය වී ඇති නිසා ඕනෑම පුද්ගලයකුට මුදල් වැයකර බොරු තොරතුරු පළකර ගැනීමේ හැකියාව උදාවී තිබේ.

එය ඇතැම්විට එවැනි දැන්වීම් පළකරන මාධ්‍ය ආයතනවලටද කරන්නට දෙයක්‌ නැත. දහස්‌ ගණනක්‌ මංගල යෝජනා අතරේ මෙවැනි හොර මංගල යෝජනා දහයක්‌ පහළොවක්‌ පැමිණි විට එය හඳුනා ගත නොහැකිය. මෙම හොර මංගල යෝජනා මගින් දහස්‌ ගණනක්‌ කාන්තාවෝ රවටා ගැනීමට වංචාකාර මනාලයෝ දක්‍ෂය.

මෙවැනි වෘත්තිය වංචාකාර මනාලයන් හඳුනා ගැනීමට හැකි තොරතුරු බිඳක්‌ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මැක්‌සි ප්‍රොක්‌ටර් මහතා හෙළිකළේ මෙලෙසිනි.

වෘත්තිය වංචාකාර මනාලයන් ලෙස මොවුන්ට පවසන්නේ මොවුන්ගේ රැකියාව මෙවැනි මනාලයන් ලෙස පෙනී සිට කාන්තාවන්ගෙන් මුදල් කඩාවඩා ගැනීමයි. එසේම මොවුන් සංවිධානාත්මක පිරිසකගෙන් යුක්‌තය. ඔවුහු කාන්තාවන්ගේ වත්පොහොසත්කම අනුව තම රඟපෑම සිදු කරති. බජට්‌ එකට ගැලපෙන්න ප්ලෑන් එක හැදීමට මෙම පිරිස දක්‍ෂය.

උදාහරණයක්‌ ලෙස ගම්බද කාන්තාවක්‌ නම් මෙවැනි වංචාකාරයෝ පවසන්නේ තමා පදිංචිව සිටින්නේ පිටරට බවත් විවාහවූ විගස දෙදෙනාම එහි පදිංචියට යායුතු බවත්ය. ඒ අනුව ඔහු අදාළ කාන්තාව වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයක්‌ තමුන්ගේ වියදමින් සකස්‌කරයි. එහි අදාළ රටට යැම සඳහා වීසා බලපත්‍රයද ලැබුණු නිලමුද්‍රdව ඇත. මින් තම මනාලයා කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්නා කාන්තාවෝ ඔහු හා විවාහ වී විදේශ ගතවීමේ සිහින මාලිගා තනාගනිති. මෙලෙස සිහින මාලිගාවේ ජීවත්වන කාන්තාව සමඟ පෙමින් වෙලීසිටින වංචාකාර මනාලයෝ හදිසියේම මතුවූ මුදල් අඩුපාඩු ගැන කතාබහ කරති. ඔන්න ලබන සතියේ අපි විවාහ වෙලා රටයනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ වෙඩින් එකට වියදම් කරන්නයි. අපි දෙන්නගෙ ගුවන් ටිකට්‌ ගන්නයි මගෙ ළඟ තියෙන සල්ලි තමයි මදි. තව රුපියල් ලක්‍ෂයක්‌ අවශ්‍යයි. වංචාකාර මනාලයා පවසනවිට සිහින මාලිගයේ සිහින කුමරිය වී සිටින මෙවැනි කාන්තාවෝ තම කණකර රත්‍රන් බඩු උකස්‌කර හෝ අවශ්‍ය හිඟ මුදල ලබාදෙන්නේ තමා වෙනුවෙන් මෙතෙක්‌ කැපවීම් කළ අනාගත සහකරු ගැන කිසිදු සැකසංකාවක්‌ ඇතිකර නොගෙනය.

මුදල් ටිකත් රැගෙනගිය මනාලයා ගැන තොරතුරක්‌ නැතිව සතියක්‌ දෙකක්‌ පමණ වනවිට ඔහුගේ දුරකථන අංකයට ඇමතුම් ගන්නාවිට එය විසන්ධිකර තිබීමට පිළිවන. ඉන්පසු ගුවන්ගමන් බලපත්‍රය ගැන පරීක්‍ෂාකර බලන විට එය ව්‍යාජ එකකි. අවසානයේදී සිදුව ඇත්තේ තම අනාගතයත් අඳුරුවී සියලු සේසතත් අහිමිකරගෙන විවාහය පමණක්‌ නොව ජීවිතයද එපාවන තරමට කලකිරීමය.

නාගරික සමාජයේ කාන්තාවන් සහ ධනවත් කාන්තාවන් රවටාගන්නට මෙවැනි මනාලයන් යොදන බහුල උපක්‍රම වනුයේ ඇයට මෝටර් රථයක්‌ මිලදී ගෙන දෙන බවට පවසා මුදල් ගැනීම හෝ දෙදෙනාම එක්‌ව හවුල් ව්‍යාපාරයක්‌ පටන් ගැනීම සඳහා යෑයි පවසා මුදල් ලබා ගැනීමය. එම තත්ත්වයට පැමිණෙන තුරු මෙම අනාගත සහකරු යෑයි පවසන වෘත්තිය වංචාකාර මනාලයෝ අත දිගහැර වියදම් කරති. තරු හෝටල්හි සාදවලට ඇය රැගෙන යති.

එබැවින් මෙවැනි වංචාකාර මනාලයන් හඳුනා ගැනීමට ඇති අවස්‌ථාවන් වනුයේ ඔහුගේ අනන්‍යතාව විමසීමෙනි. බලන්නකො... දැන් මහා වංචාකාරයෝ ඉන්නවලුනෙ.... අපි වගේ අය කසාද බඳින්න එනවා කියලා රවටා මුදල් ගන්නවාලුනේ... යෑයි චාටු වදන් පවසමින් ඔහුගේ හැඳුනුම්පත ඉල්ලාගෙන එහි තොරතුරු සටහන් කරගන්න. ඔහුගේ දුරකථන අංකය ඉල්ලාගන්න. මෙලෙස හැඳුනුම්පත, දුරකථන අංකය ඉල්ලනවිට ඔහු එය දීමට මැලිකමක්‌ දක්‌වයි නම් ඔහු කෙරෙහි සැකයක්‌ ඇති කරගන්න. එසේම තමාට අනවශ්‍ය ලෙස සෙනෙහස පාමින් විවාහයට පෙර විවිධ පොරොන්දු දෙමින් මුදල් ඉල්ලයිනම් එයත් සැක උපදවා ගැනීමට හේතුවක්‌ කරගන්න. ඉන්පසු මෙවැනි පුද්ගලයන්ගේ තොරතුරු ළඟම ඇති පොලිසියේ මහජන පැමිණිලි අංශය වෙත ගෙන ගොස්‌ දී පරීක්‍ෂාකර බලා සැක දුරුකරගන්න. එසේත් නොමැතිනම් පොලිස්‌ මහජන සම්බන්ධතා කොට්‌ඨාසයේ දුරකථන අංක 011-2395605 වෙත අදාළ තොරතුරු පවසා එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්න. එසේ නොවුණහොත් බජට්‌ එකට අනුව රඟපා කාන්තාවන්ගේ සියලු සේසත සහිත පොකට්‌ එක සූරාගන්නා මෙවැනි වෘත්තීය වංචාකාර මනාලයන්ට හසුවූ ඊළඟ කාන්තාව ඔබ විය හැකිය.

උපාලි ද සේරම්


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money