Friday, October 21, 2011

රසාර ලෝකයක්‌ මැවූ ටයි මහත්තයා


රේඛාව හදන්නට වෑවල ගමේ නැවතී සිටියදී ලෙස්‌ටර් ගැමියන් පිරිසක්‌ සමග විලී බ්ලේක්‌ සහ ටයිටස්‌ තොටවත්ත යන්ද මෙහි වෙති.

රූපවාහිනී සංස්‌ථාවේ "හඬකැවීම් මැදිරිය" පුංචි අධිරාජ්‍යයක්‌ මෙනැයි මට සිතේ. මේ අධිරාජ්‍යයේ ඒකාධිපතියා 'ටයිටස්‌ තොටවත්ත' නමැති ආඥාදායකයා ය.

රූපවාහිනියේ හා සිනමාවේ වංශ කතාව ලියන ඉතිහාසකාරයා මතු දිනක ඔහුගේ නිර්මාණ මහා ප්‍රාතිහාර්යන් ලෙසට හඳුන්වා දෙනවාට සැකයක්‌ නැත. අනාගත පරපුර ඔහුගේ චරිත කතාව කියවනු ඇත්තේ අද්භූත සුරංගනා කතාවක්‌ පරිද්දෙනි.

ටයිටස්‌ තොටවත්තයන් ගේ අණසක පවතින හඬකැවීම් ඒකකය තුළ පුංචි නාමපුවරුවක්‌ දක්‌නට ලැබේ. "නිහඬවෙනු කට ඇරියොත් වචන ඔබනවා" යන මේ නාමපුවරුව බැලූ බැල්මට විධානයකි. එහෙත් මේ අපබ්‍රංසය බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අපහසුය.

අතුල රන්සිරිලාල් හඬකැවීම් ඒකකයේ ප්‍රධානියා වේ. ටයි මහත්තයා ගේ ප්‍රධාන ගෝලයාය. කිසිවකු ඔහුගෙන් අර නාමපුවරුවේ අරුත විමසයි.

".... ඔය අපේ ලොක්‌කගෙ වචන නෙ... සද්ද කරන්න එපා ඩබිං (DUBBING) කරනවා... කියන තේරුම නේ...."



රූපවාහිනී හඬකැවීම්වලදී ටයි මහත්තයා සුවිශේෂ භාෂාවක්‌ යොදා ගෙන ඇත. (DUBBING STUDIO)) යන්නට ඔහු යොදා ඇත්තේ 'හඬ දෙකැවි මැදිරිය' යනුවෙනි. අධ්‍යක්‍ෂණය යන්නට ඔහු යොදන්නේ "අදියුරු" යන්නයි. විවේක කාලය හඳුන්වන්නේ "ඉඩිමුව" නමිනි. ජගත් රූපවාහිනියේ ඉමහත් ප්‍රසාදයක්‌ දිනාගත් 'මපට්‌' සංදර්ශන හඳුන්වා දුන්නේ "අත රූ පැලැස්‌ස" ලෙසින් ය. බ්ලැක්‌ ඇන්ඩ් වයිට්‌ යන්නට දුන් තේරුම පොලිකිචි වර්ණය. දේශීය භාෂා ව්‍යවහාරයක්‌ සිනමාවෙන් හෝ රූපවාහිනියෙන් බිහි වුණා නම් ඒ ටයිටස්‌ තොටවත්තයන් ගේ වින්නඹුකම නිසා ය.

හඬ දෙකැවි මැදිරිය දේවාලයකට නො දෙවෙනිය. ඇතුළු වෙන තැනම "ඇතුළු වන්නේ නම් පාවහන් ගලවනු" කියා ලියා තිබේ. හැමෝම අණසක පිළිපදිති. එහෙත් ටයි මහත්තයා ඇතුළු වන්නේ සපත්තු පිටිනි. ඒ ගැන යමෙකු විමසුවොත් ඔහු කියන්නේ "කපුවාට දේවාලයේ කැත කරන්නටත් අයිතියත් ඇති බවයි".

මේ සලරූ විශාරද දැනමුත්තා සිටින්නේ හැමවිටම ගෝල බාලයන් පිරිවරාගෙන සතුටිනි. විජේරත්න වරකාගොඩ, ගැමුණු විජේසූරිය, එල්සන් දිවිතුරගම, චිත්‍රා වාකිෂ්ට, ධර්ම ශ්‍රී මුණසිංහ, කරුණාරත්න අමරසිංහ, පරාක්‍රම පෙරේරා, නිහාල් ජයවර්ධන, මර්සි එදිරිසිංහ, ලෙස්‌ලි රාමනායක, ඇග්නස්‌ සිරිසේන, චන්ද්‍රා කළුආරච්චි, ප්‍රැන්සිස්‌ වන්නිආරච්චි ආදී මෙකී නොකී කලාකරුවෝ / ඉංග්‍රීසියෙන් කට අරින විට සිංහලෙන් වචන ඔබති. අතුල රන්සිරිලාල් , (රූපවාහිනි හඬ කැවීම් අද ප්‍රධානි.) කැළුම් පාලිත මහීරත්න වචන ඔබන විට පටිගත කරති. හඬ දෙකැවි මැදිරිය හැමවිටම නිහඬය. අතුල පටිගත කරගෙන යයි. ටයි මහත්තයා හෙමින් හෙමින් පැමිණෙයි. ඔහු පුටුවේ වාඩිවී කෙරෙන වැඩ ගැන විමසුම් ඇස හෙළයි. වේලාව පස්‌වරු දෙකට තුනට පමණ ඇත.

"අතුල උඹ කෑව ද බං...."

"නෑ ටයි මහත්තය"

"යකෝ... ගිහින් කාපිය... ඕක නවත්තලා කාපිය... තොට ගෙනල්ල කවන්ඩ කියලද කියන්නෙ.... මේ ඔක්‌කොම කරන්නේ කන්ඩ.... පලයං ගිහින් කාපන්...."

තවත් සවසක අතුල ශිල්පීන් සමඟ දෙබස්‌ කැවීම්වල නියෑළී සිටියි. ටයි මහත්තයා සුපුරුදු පරිදි ඇතුළුවෙයි. මඳ පමණට ගත් මීවිත සුවඳින් කාමරය පිරෙයි.

"අතුල උඹ කෑවද බං...."

"ඔව් ටයි මහත්තය...."

"ආ... උඹ කෑවොත් ඇති.... අනිත් එවුන්ට ඕනෑ එකක්‌...." ටයි මහත්තයා අතුලට බනියි. ඒ බැනිල්ල නවතින්නේ නැත. එන එන අය සමඟ කියා බනියි.

"අරූ අතුලය... තනියම කාල ඇවිල්ල අනිත් එවුන් බඩගින්නෙ වැඩ... ඔන්න ඔන්න අපේ එවුන් ගෙ හැටි... ඔහු හයියෙන් හිනාවෙයි. අතුලට මේවා හොඳට පුරුදු ය.

රූපවාහිනී නිර්මාණකරණයේ, නාමාවලියේ දී දෙබස්‌ කැවීම්වලදී, ඔහු යොදන්නේ සුපිරි හෙළ වදන් වුව ද, කතාබහේදී නම් එහි අනිත් පැත්තය. කුමරතුඟු ගුරු කුලයේ මේ සුපිරි හෙළයා අසම්මත බස දොඩන නිසාම ඔහුගේ රසාර ලෝකය රසවත් දේවලින් ම පිරී ඇත. විහිළු තහළු, අපහාස උපහාස, රිදවිලි කෙනිත්තිලි වලින් අඩුවක්‌ නැත. අඩිය වැඩිවී ඔහු දොඩවන බස ගොරහැඬි වුව ද එහි සැඟවුණු අරුත බොහෝවිට හරබර ය. එක එල්ලේ තේරුම් ගැනීම ද අසීරුය. ඔහු සිටින තැන රස සාගරයකි. රසාර ආකාරයකි.

ජීවය ඇත්තේ කට වහරේය. කියන බස, ලියන බස දෙකේ වෙනසක්‌ පැවැතිය යුතුය. ලියන බස නැත්නම් වියරණයත්, වියරණය නැත්නම් භාෂාවකුත් නොපවතී.

"....අන්න අරූට එන්ඩ කියාපං...." ටයි මහත්තයා රූපවාහිනියේ නිෂ්පාදන සහකාරවරයකු කැඳවයි. සහකාර නිෂ්පාදකවරයා ටයි මහත්තයා ළඟට එන්නේ බයෙන් බයෙන් ය. කිසියම් දෙයක්‌ තමා අතින් වැරදි ඇතැයි ඔහු සිතයි. ඔහුට භාර දුන් වැඩ කොටස ගැන ටයි මහත්තයා ප්‍රශ්න කරයි.

... දැන් සබීතා එනවද?....

... ඔව් ටයි මහත්තයා....

.... සනත් එනවද?.....

... ඔව් ටයි මහත්තයා....

.... ටැක්‌සිය ලෑස්‌ති ද? ...

... ඔව් ටයි මහත්තයා....

.... වින්කලේ ගැන බැලුවද?....

... ඔව් ටයි මහත්තයා....

... අපට කෙලවෙයි ද?.....

... ඔව් ටයි මහත්තයා....

සියලුදෙනාම සිනාසෙති. නිෂ්පාදන සහකරු උඩබිම බලයි. මිනිසුන් පටැලවීමට මේ තරම් සමතෙක්‌ රූපවාහිනියේ තවත් නැත. එය ඔහුගේ විනෝදාංශයකි. ටයි මහත්තයාගේ සමහර කතා දෙපැත්ත කැපෙන ආයුධයක්‌ වැනිය. ඔහු ඌරගෙ මාළු ඌරගේ ඇඟේම තියා කපන ජාතියේ මිනිසෙකි. වචනයෙන් මිනිසුන් ජය ගැනීමට මෙතරම් හැකියාවක්‌ ඇත්තෙක්‌ මා කවදාවත් දැක නැත. අසම්මතවාදී බව, පෙරැළිකාරී බව, දඩබ්බරකම ඔහුගේ නිර්මාණවල මෙන්ම ජීවිතයේ ද දැකිය හැකිය.

  ටයිටස්‌ අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට

චණ්‌ඩියා (1965) කවුද හරි (1969) තෙවන (1970) අහල පහල, ගිලිහුණු මල්, පික්‌චර්පිස්‌සා සමග) හාර ලක්‌ෂය (1971) සිහිසුන (1974) නාන්ගු ලෙච්චමී (හාරලක්‌ෂය දෙමළ දෙබස්‌ කැවීම) සාගරිකා (1974) මංගලා (1979) මරුවා සමග වාසේ (1977) හොඳම චිත්‍රපටය සඳහා ග්‍රෑන්ඩ් පික්‌ස්‌ ජගත් ත්‍යාගය හිමිවූ අධ්‍යක්‍ෂණය කළ වාර්තා චිත්‍රපට රැසකි.

මීට අමතරව සංස්‌කරණය කළ වෘත්තාන්ත චිත්‍රපට විත්ති කතා චිත්‍රපටද රාශියකි. සංස්‌කරණය උදෙසා සම්මාන ද හිමිකර ගත්තේය. (කාර්මික අධ්‍යක්‍ෂ ලෙස එක්‌ වූයේ දස්‌කොන් චිත්‍රපටය සඳහාය) ප්‍රථම රූපවාහිනී ඒකාංගික ටෙලි නාට්‍ය පින්මද පුතුන් ප්‍රථම සජීවී ටෙලි නාට්‍ය වැටත් නියරත්, රන් කහවනු, (කොටස්‌ 12 කි) හා තවත් නාට්‍ය රැසකි. රූපවාහිනී හඬ කැවීම් මෙහෙයුම් (එහි පුරෝගාමියාද තොටවත්තය) කාටූන් හා සිංහල උප සිරැසි යෙදූ වැඩසටහන්ද, කුංග්ෆු, රොබින් හුඩ්, මල්ගුඩි දවස සිට දොස්‌තර හොඳ හිත, හාහා හරි හාවා ඇතුළු ළමා වැඩසටහන් ද විශාල ප්‍රමාණයකි. හිමිකරගත් විදෙස්‌ සම්මානද රාශියකි.
 
ටයි මහත්තයා මට මුලින්ම මුණගැසුණේ හැටේ දශකයේ අග හරියේදී ය. එවකට මම සරසවි චිත්‍රාගාරයේ ශබ්ද පරිපාලක ගේ සහායකුව සිටියෙමි. මට පැවරී තිබුණේ නළුනිළියන් ගේ ගීත දර්ශන කැමරාගත කරන විට ගී පටිය වාදනය කරවීමයි. 'කව්ද හරි' චිත්‍රපටයේ වැඩකටයුතු කරගෙන යද්දී මුලින්ම මම ටයිටස්‌ තොටවත්ත සමඟ වැඩකටයුතු කළෙමි. මම පිටරට අවුරුදු පහක්‌ ගත කොට ලංකාවට ආ පසු ටයි මහත්තයා බොරැල්ලේදී මුණගැසුණි. එවිට ඔහු ගමන් කළේ තවත් අයෙකුගේ සහායෙනි. මම මවිතයෙන්... මොකෝ ටයි මහත්තයො.... යෑයි විමසුවෙමි.

"....ගියානෙ බං පැත්තක්‌..." කීවේ සිනහසෙමිනි. ටයි මහත්තයා ලෙඩදුක්‌ කම්කටොළුවලින් සැලෙන්නෙක්‌ නොවේ.

ටයි මහත්තයා සමඟ එකට වැඩ කිරීම වගේම ඔහුගෙන් වැඩ ඉගෙන ගැනීම ද ඉතාමත් දුෂ්කර කාර්යයකි. ඒ ඉගැන්වීමේ ක්‍රමය අමාරුවෙන් හෝ විඳ දරාගතහොත් ඔහුට කවදාවත් වරදින්නේ නැත. එහෙත් එසේ කළ හැක්‌කේ මාධ්‍යයට මුළු ජීවිතයම කැප කළ අයෙකුට පමණි. ඔහුගෙන් පන්නරය ලැබූ ගෝලයෝ අද නිර්මාණ ලෝකයේ කිරුළු දරති.

"... වැඩ කරන වෙලාවට ලොක්‌ක ඉන්නේ තදවෙලා..." අතුල නිතරම කියන කියමනකි. එසේ "තදවීමට" හේතුව ඔහු අනෙක්‌ අයට වඩා ක්‍රියාශීලී වීමයි. අධිවේගී මනසක්‌ හා අධිවේගී සංස්‌කරණ ක්‍රමයක්‌ ඔහු තුළ ඇත. සෘජුව කතා කිරීම, කාටවත් බයනැතිකම, තමන් කරන දේ හරියට කිරීම ටයි මහත්තයාගේ උසස්‌ම ගුණාංගයන් ය. ඔහු කවදාවත් තැන ලබාගන්නට බලවතුන් පසුපස ගියේ නැත. 'පෞරුෂය' බොහෝ කලාකරුවන් තුළ නැත. පුංචි සේවකයාට "උඹ" කියා කතා කළොත් ලොකු පරිපාලකවරයාටත් "උඹ" කියා කතා කරන්නට හිතුණොත් පසුබට වන්නේ නැත. ඔහුට සමහර වෙලාවට කවුරුත් උඹලා ය.

ප්‍රථමවරට සජීවි රූපවාහිනී නාට්‍යයක්‌ (වැටත් නියරත්) ඉදිරිපත් කරමින් වාර්තාවක්‌ පිහිටෙව්වේය. ඔහු පිහිටුවූ වාර්තා ගණන අපමණ ය. කුමාරතුංග ගුරුකුලයේ මේ සුබැසියා ගේ නිර්මාණ තුළ හාස්‍යය, උපහාසය සමඟ වියත් භව ද පිරී පැවැතිණි.

  ගතානුගතික සිනමාවට එරෙහිව
කැරැල්ලක්‌ ගැසූ මිනිසෙක්‌!
මහාචාර්ය සුනිල් ආරියරත්න
ලෙස්‌ටර් අග්‍රගන්‍ය සිනමාවේදියා ග්‍රන්ථයෙනි.


රජයේ චිත්‍රපට අංශයට එදා බැඳුණ පුද්ගලයන් ත්‍රිත්වයක්‌ විය. ඒ ආචාර්ය ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ ටයිටස්‌ තොටවත්තයන් හා විලී බ්ලේක්‌ය. තමා හදන්නට යන චිත්‍රපටයේ (රේඛාව) කැමරා ශිල්පියා ලෙස විලී බ්ලේක්‌ ද සංස්‌කාරක ශිල්පියා ලෙස තොටවත්තද එක්‌කර ගැනීමේ උවමනාව ලෙස්‌ටර්ට විය.

කොළඹ ආනන්ද විදුහලෙන් ඉගෙනුම ලබා රජයේ චිත්‍රපට අංශයට බැඳී සිටි තොටවත්තගේ කුසලතා ගැන ලෙස්‌ටර් හොඳින් හඳුනාගෙන සිටියේය. ලෙස්‌ටර්, බ්ලේක්‌, ටයිටස්‌ ත්‍රිත්වයට අවශ්‍යව තිබුණේ තවත් එක්‌ චිත්‍රපටයක්‌ හදන්නට නොවේ. ගතානුගතික සිනමාවට එරෙහිව කැරැල්ලක්‌ ගසන්නටය. ලෙස්‌ටර් ගේ වචන වලින්ම කියනවා නම් සිංහල සිනමා සිතුවම අලුතින් අඳින්නටය. ඔව්හු එම අභියෝගය ජයගත්හ.
චිත්‍රාගාරවලින් බැහැරව එළිමහන් දර්ශන තලයට කැමරාව රැගෙන ගොස්‌ දර්ශන රූප ගත කළහ. ටයිටස්‌ ඉන් ඉක්‌බිතිව ලෙස්‌ටර්ගේ ''සංදේශය'' ද සංස්‌කරණය කළේය.
 
හෙළ මහ පඬි කුමාරතුංග මුනිදාසයන් පිළිබඳ තොටවත්තයන් තුළ ඇත්තේ අචල භක්‌තියකි. ඔහුගේ කාමරයේ "අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොවැ නොනගී" යනුවෙන් ලොකු අකුරින් ලියා තිබේ. පැරණි පොතපත විධිමත්ව පරිහරණය කරන ඔහු ඒ පැරණි කුලවත් සාහිත්‍යයට දක්‌වන්නේ අපමණ ස්‌නේහයකි. ඔහු කතා කරගෙන යද්දී ඇතැම් විටෙක කාව්‍යශේඛරයෙන්, ගුත්තිලයෙන්, ලෝකෝපකාරයෙන්, සංදේශ කාව්‍යයකින් කෑල්ලක්‌ මතුවන්නේ පුරුද්දටය.

ඔහුට තම කැමති නිර්මාණයකින් ම රසය නඟාලීමට හැකි විය. බස නඟාලීමට හැකි විය. අභිමානය නඟාලීමට හැකි විය. අදහස්‌ නඟාලීමට හැකි විය. දීන බව මකාලීමට හැකි විය.

ටයි මහත්තයා අකමැතිම දේ තමන් ගැන දෙඩවීමය. ඔහුගේ ජීවන තොරතුරු විමසූ පත්තරකාරයකුට දිනක්‌ කඩා පැන්නේය.

"...උඹට මොකටද බං... මගේ ජාතකේ.... කියමිනි.

මේ අපූරු මිනිසාගේ ජාතකේ හාරා අවුස්‌සන විට අපට දැනගන්නට ලැබුණේ ඔහුගේ උප්පැන්න සහතිකයේ ඇති නම තොටවත්ත දොන් මනුවෙල් ටයිටස්‌ ද සිල්වා බවයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ (1945) භාවිත කර ඇත්තේ ටයිටස්‌ සිල්වා කියා ය. කුමරතුඟු ඇසුරෙන් රපායෙල්ලා "රැයිපියෙල්" වූවාක්‌ මෙන් අල්විස්‌ ලා "අලව් ඉසි" වූවාක්‌ මෙන් ප්‍රනාන්දුලා "පුරනන්ද ලා" වූවාක්‌ මෙන් ටයිටස්‌ සිල්වාත් ටයිටස්‌ තොටවත්තයන් විය. "සිල්වා කෑල්ල" ලොප්කර තොටවත්තයන් යෑයි යොදාගත්තත් "ටයිටස්‌" යන්නට හෙළ වදනක්‌ සොයාගන්නට ඔහුට බැරිවිය. ඔහුට බැරි වූ එකම දෙය එය යෑයි මම සිතමි.

පී. ඇම්. සේනාරත්න
ටයි මහත්තයා ජීවත්ව සිටියදී ලියූ ලිපියකි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money