Tuesday, October 11, 2011

ස්‌ටෙෆනි

මුළු ලෝකෙම මගේ ළඟ හිටියා වගේ දැනුණා...

ස්‌ටෙෆනි ගැන කෙටියෙන්

නම - ස්‌ටෙෆනි මධුෂිකා සිරිවර්ධන
උපන් දිනය - 1988.02.05
උස - අඩි 5 අඟල් 7
පාසල - ජාත්‍යන්තර පාසල් කිහිපයක
අධ්‍යාපනය හැදෑරුවා
උපන්ගම - කුවේට්‌ රටේ කුවේට්‌ සිටිහිදී

විනෝදාංශය - ගායනය, නර්තනය, කික්‌බොක්‌සිං, කියවීම, ලොවවටා සැරිසැරීම

රූ රැජිනක්‌ කියූ පමණින් මැවෙන්නේ සුන්දර කාන්තාවකගේ රූපයකි. නමුත් ඇය රූපයෙන් පමණක්‌ සුන්දර වූ කාන්තාවක නොවේ. දැනුමින්ද පොහොසත් වූ අපූරු තරුණියකි. වයසට වඩා වැඩි වැඩ කොටසක්‌ කළ ඇය පසුගියදා නිමාවුණු හැට වැනි විශ්ව රූ රැජින තරගයට සහභාගි වීමට තරම් වාසනාවන්ත වූවාය . එලෙසින් ලංකාවට කීර්තියක්‌ ගෙන ඒමට උත්සාහ කළ ස්‌ටෙෆනි සිරිවර්ධන සමග අප පිළිසඳරකට එක්‌වීමු.

මේ අවස්‌ථාව ලැබුණෙ කොහොමද?

දවසක්‌ මම නර්තනය ඉගැන්වීමට ගොස්‌ ගෙදර ආවා. ඒ වෙලාවේ අම්ම මගෙන් ඇහැව්වා දන්නවද මම ඔයා වෙනුවෙන් හොඳ දෙයක්‌ කළා කියලා. එවිට මම මොකක්‌ද කියලා ඇහැව්වහම අම්මා කීවා මිස්‌ යුනිවර්සර් තරගයට මගේ නම ඇතුළත් කළා කියලා. ඒ වෙලාවේ මම හිතුවා ලංකාව වෙනුවෙන් යමක්‌ කරන්න පුළුවන් කියලා. ඒ අනුව මම මේ තරගයට ඉදිරිපත් වුණා.

මෙවැනි තරගයකට ඉදිරිපත් වෙන තරුණියන් දැනගත යුතු දේවල් මොනවාද?

තමන්ගේ රට පිළිබඳව හොඳ අවබෝධයක්‌ තියෙන්න ඕනෑ. මොකද ජාත්‍යන්තරයට ගොස්‌ තමන්ගේ රට ගැන කතාබහ කිරීමට ඒ වගේම තමන්ට නියමිත දෑ එතරම් හිතට නොගෙන සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී විශේෂයෙන් අනුන්ව අනුකරණය නොකර තමන්ගේම කියා අනන්‍යතාවක්‌ ගොඩනඟාගත යුතුයි. ඒත් සමගම ව්‍යාජ නොවිය යුතුයි.

මෙවැනි තරගයකට පවුලේ අයත් සමග එකට යන්න පුළුවන්ද ?


පවුලේ සාමාජිකයන් එක්‌කගෙන යන්න පුළුවන්. නමුත් ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන්න වෙලාවක්‌ නැහැ. ඒකට හේතුව දවසේ වැඩි කාලයක්‌ වැඩසටහන්වලට සම්බන්ධවෙලයි ඉන්නේ. ඒ වගේම විශාල ආරක්‍ෂකයන් පිරිසක්‌ අපිව ආරක්‍ෂා කරනවා. ඇත්තටම ඉහළ ආරක්‍ෂාවක්‌ ලැබෙනවා. ඒ හින්ද ලොකු සම්බන්ධකම් පවුලේ අය සමග පවත්වන්න බැහැ.

මේ තරගයෙන් පසුව ලංකාවට ආවහම ඒ යෙහෙළියන් කතා කළාද?

තවම අනෙක්‌ අය රටවල්වලට යන ගමන් ඉන්නේ. අන්තර්ජාලය හරහා බොහෝ දෙනා සම්බන්ධවෙනවා.

ඔබත් සමග එකට සිටියේ කවුද?

මම හිටියේ මිස්‌ ඉන්ඩියා වුණු ඉන්දියානු යෙහෙළියක්‌ සමග. එයා හරිම හොඳයි.

ලංකාව ගැන අනෙක්‌ අය මොනවාද කිව්වේ ?

තරගයට ඉදිරිපත් වුණු හැමෝම දැන් මගේ යාළුවෝ. ඔවුන් පොරොන්දු වුණා ලංකාවට එනවා කියලා. ඒ වගේම ඔවුන් ලංකාව ගැන දැනගෙන හිටියේ නැහැ. මම අපේ රටේ සොභාවසෞන්දර්ය වගේම හැම දෙයක්‌ ගැනම තරගකාරියන් සමග විතරක්‌ නොවෙයි විශ්ව රූ රැජින තරගයේ සංවිධායකවරුන්, ඒ රටේ නගරාධිපතිතුමා, ආග්‍රාණ්‌ඩුකාරතුමා සහ ආර්යාව සමග ද කතාබහ කළා. ඔවුන් ඒවා ඇහැව්වහම අපේ රට ගැන පුදුම වුණා.

තරගය කොපමණ කාලයක්‌ පැවැත්වූවාද?

මාසයක්‌ විතර.

අමතක නොවන සිදුවීම් ?

විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත් වුණ අනෙක්‌ රටවල තරගකාරිනියන් කිසිකෙනෙක්‌ අමතක වන්නේ නැහැ. ඒ වෙලාවේ මට හිතුනේ මුළු ලෝකයම මගේ ළඟට ආවා වගෙයි කියලා.

ඔවුන් මොනවද ඔබට කිව්වේ ?

මට හොඳට සින්දු කියන්න පුළුවන්.

ඉදිරිපත් වුණ තරගකාරියනුත් ඒ බව දැනගත්තා. පස්‌සේ ඒ ගොල්ලෝ මට කිව්වා සින්දු කියන්න කියලා. ඔවුන් මට ආදරයට කියන්නේ ශ්‍රී ලංකාවේ ගී කියන කිරිල්ලිය කියලා. තරගයේ අවසන් දවසේ රෑ හැමෝම ලොකු බයකින් හිටියේ. ඒ බය නැති කරගන්න හැමෝම මට කිව්වා සින්දු කියන්න කියලා.

ඒ වෙලාවේ ඔබට බයක්‌ හිතුණේ නැතිද?

මට නම් ඇත්තටම බයක්‌ හිතුණේ නැහැ. සාමාන්‍ය විදිහට තමයි ඉදිරිපත් වුණේ. මට ලැබිය යුතු දෙයක්‌ තිබේ නම් ලැබෙයි කියන බලාපොරොත්තුව විතරක්‌ මට තිබුණා. හරිම සතුටෙන් සහ විනෝදයෙන් තමයි හිටියේ.

මේ තරගයෙන් අපේ රටට ගෞරවයක්‌ ලැබුණා කියලා හිතනවාද?

ගොඩක්‌ දෙනා අපේ රට ගැන වැරදි ආකල්පයක හිටියේ. සුනාමිය, ගැටුම් පැවතුණ ප්‍රදේශ විතරයි අපේ රටේ තිබෙන්නේ කියලා. හැමවිටම ඔවුන් කතාකළේ අපේ රටේ පැවතුන යුද්ධය ගැන විතරයි. මම ගිහින් ඔවුන්ට කිව්වේ අපේ රටේ සුන්දර මුහුදු තීරය, ස්‌වභාවික සෞන්දර්ය, ඒ විතරක්‌ නොවෙයි අපේaa රටේ මිනිසුන්ගේ ගතිගුණ. ඉන් පස්‌සේ ඔවුන්ගේ ආකල්පය වෙනස්‌ වුණා. ඇත්තටම ඔවුන්ට අපේ රට ගැන පුදුම හිතුණා. ඒ හැමකෙනෙක්‌ම වගේම මා ළඟට ඇවිත් කිව්වා ඔයා නිසා අපි ලංකාව ගැන ගොඩක්‌ දේවල් දැනගත්තා කියලා. ඒ හින්ද ඔවුන් ලංකාව බලන්න එනවා කීවා.

ඔබ අධ්‍යාපනයටත් දක්‍ෂයි කියලා ආරංචියි ?

ඔව්. මට ජනමාධ්‍ය හා ජනසන්නිවේදනය හා දේශපාලන විද්‍යාව පිළිබඳ කැනඩාවේ කොන්කෝඩියා සරසවියේ විශේෂ උපාධියක්‌ තිබෙනවා. එවැනි අවස්‌ථාවක්‌ හැමෝටම ලබාගන්න අපහසුයි. මම එම සරසවියේ පාලක මණ්‌ඩලයේද වගකීම් දරා ඇති අතර විශ්වවිද්‍යාලයේ සෙනට්‌ සභාවේ සෙනට්‌ සභිකයෙක්‌ වශයෙන්ද කටයුතු කර තිබෙනවා.


දිනේෂ් විතාන
ඡායා - දිනේෂ් ගමගේ

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money