Tuesday, October 18, 2011

ස්වාමින්වහන්සේ නමකට අදාල ටිකට් පත පරිත්‍යාග කරමු

සිංහල බෞද්ධයා ගේ පරම යුතුකමක් වන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කළ හැකි යමක් කිරීමයි. අප මිතුරන් දැක්වූ පරිදි ඒ සඳහා අපට පහසුවෙන් කළ හැකි ඉතා වැදගත් කර්තව්‍යයක් ඇති අතර අතර පින් කිරීමට සොයන්නා වූ අයට මෙය පහසු මෙන්ම වටිනා පිංකමක්ද වනවා ඇත.
අත්‍යවශ්‍ය ගමනක් සඳහා බසයකට ගොඩ වන ස්වාමින්වහන්සේ නමකට අදාල ටිකට් පත මිලදී ගෙන පරිත්‍යාග කරමු. එය ජාති ජාතිත් මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන කුසලයක් වනවා මෙන්ම ශාසනයේ අභිවෘද්ධියටද සෘජුවම යහපතක් වනු ඇත. මන්ද බොහොමයක් ස්වාමින් වහන්සේලාට මේ සඳහා වන කැපකරුවන් ආදී වූ පහසුකම් නොමැති කමින් තනිව ගමන් යන්නට සිදු වීමත් ඒ යන ගමනට මග වියදම් ලෙස මුදල් ගෙන යන්නට වීමත් පසුව එය පරිහරණය කිරීමත් දකින්නෙකුට ශීලය පිළිබඳ ගැටළු මතුවෙන්නට පුළුවන්. එය සැබැවින්ම සුළු පටු කාරණයක්ද නොවේ, ඒ ගිහියෙකු වුව ගහට්ඨ දස ශීලය සමාදන් වූ විටෙක මුදල් පරිහරණය අකැප වන බැවිනි.
ඔබ අතරෙන් පින් කැමති අයෙක් මෙවැන්නක් දුටුවහොත් කල යුත්ත නුවණින් විමසා බලා කරන්න. උන් වහන්සේලා මුදල් පරිහරණය කරන්නට සූදානම් වන්නේනම් ඔබ ඉක්මන් වීමෙන් කෙනෙකුට පෙනෙන්නට යන අශෝබන දසුනක් වලක්වාලීමට ඔබ මැදහත් වූවා වෙයි. සමාජයේ අනිත් අය දිහා බලා සිටින්න අවශ්‍ය නැහැ. හැකි හැම විටම ඔවුන්ටත් ආදර්ශයක් වෙන්න උත්සහ කරමු.
මෙය ඔබට පහසුවෙන් කළ හැකි දෙයක්. මන්ද ශ්‍රී ලංකාව තුළ උපරිම ගමනාන්තයක් සඳහා වුව එක් පුද්ගලයෙකුගේ ප්‍රවේශ පත්‍රයක වටිනාකම රු. 300 ක් පමණ වන නිසා. තනිව හෝ අසල මගීන් කිහිප දෙනෙකු එකතුව මෙයට දායකත්වය ලබා දිය හැකියි.
ඔබ යම් පන්සලක්, ආරණ්‍ය සේනාසනයක් හෝ අසපුවක් ඇසුරු කරන්නේ නම් උන්වහන්සේලා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කලින් ගෙවා ලබා ගත හැකි විවිධ වටිනා කමින් යුතු ගමන් ප්‍රවෙශපත්‍ර පොත් වශයෙනුත් ඇත. එසේම දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර කලින් ලබා දීමේ ක්‍රමයක්ද ඇත. එවැන්නක් ලබා දීම තුලින් මගතොටකදී අන්‍යාගමිකයෙකුට වුව ධර්මය යම් කොටසක් නිසා විවේචනයට ලක්වීම නවතාලිය හැකි වේවි.
එපමණක් නොව භික්ෂූන් වහන්සේලාගේ ගමන් සඳහා ලංගම සහ දුම්රිය හරහා නොමිලයේ වාර ප්‍රවේශපත් නිකුත් කිරීම, කෝටි 2ක ජනගහනයෙන් 30000කට අඩු භික්ෂූන් වහන්සේ රකින්න උන්වහන්සේගේ අවශ්‍යතාවයන් සපුරා දීමට ලංකා රජයකට පහසුවෙන්ම කළ හැකි දෙයකි. මන්ද බුද්ධ ශාසනය පවත්වන්නෙ බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින්ම වන බැවිණි. එසේම ශ්‍රී ලංකාව බුද්ධ ශාසනය සුරකිමින් පෝෂණය කරන්න ව්‍යයස්ථාවෙන්ම බැදී සිටින රටකි. මේ ගැනත් දේශපාලඥයින්ගේ සහ බලධාරීන්ගේ අවධානය යොමු වෙත්වා.
සිංහල බෞද්ධයා අඩවිය හරහා මෙම ලිපිය කියවූ ශාසනහිතකාමී හැකි හැම කෙනෙක්ම, භික්ෂූන් වහන්සේ නමක් බසයකදී මුදල් දී ටිකට් පතක් ගන්නට සූදානම් වනවා දුටු සැනින් මේ කුසලමය ධාර්මික සේවාව ඥාණසම්ප්‍රයුක්තව කරන්නට සිත්හි තබා ගන්න. භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කිරීම උපාසක උපාසිකාවන් ලෙස අපගේ මහත් වගකීමක්, මන්ද මනා ධර්ම විනයෙහි හැසිරෙන මහා සංඝරත්නයේ පැවැත්මම බුද්ධ ශාසනයේ ආයුෂ කෙරෙහි බලපාන බැවිනි.
මෙය වඩාත් සමාජගත කිරීමට ඔබගේ අදහස්ද එකතු කරන්න.
පුළුල් වශයෙන් මෙයට ජනමාධ්‍ය හරහා ප්‍රචාරයක් දිය හැකි වැඩසටහනක් සකසමු. ආරම්භයක් ලෙස අප භාවිතා කරන ෆේස්බුක් ඇතුළු “සමාජ ජාල” හරහා මෙම පණිවිඩය අන්තර්ජාලය තුළ බෙදා හරිමු.
තෙරුවන් සරණයි!

Read more: http://sinhalabuddhist.com/2011/09/bus-ticket-donation/#ixzz1bEHjhwLT
Under Creative Commons License: Attribution

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money