Sunday, October 23, 2011

පුංචි දවස්වල ආදරේට කිව්වේ කුකී

 

නෙහාරා පීරිස්ගේ අම්මා නේෂාන්ති රම්මිකා පීරිස් කියයි

පුංචි දවස්වල ආදරේට කිව්වේ කුකී

‘මට මතක විදිහට නම් මේ සිද්ධිය වෙන කොට කුකීට අවුරුදු දෙකහමාරක් විතර ඇති. කුකී අපේ වැඩිමල් දෝණි නිසා එයාට හැමෝගේම ආදරය නොඅඩුව ලැබුණා. ඒ නිසාම කුකී වැඩිය කැමැති නෑ එයාට ආදරය කරන අය වෙන කාටවත් ආදරය කරනවාට. දවසක් මගේ යාළුවෙක් එයාගේ පුංචි දුවත් එක්ක අපේ ගෙදර ආවා.
මම ඉතින් ඒ දරුවාව වඩාගෙන ටිකක් හුරතල් කළා. එයත් අවුරුද්දක හරිම ලස්සන කෙළි පොඩිත්තියක්. ඒ අතරෙදී මම දැක්කා කුකීගෙ මූණ නම් ටිකක් රතුªවෙලා තියෙන බව. කුකීවයි අර පුංචි කෙල්ලවයි යාළු කරන්න හිතාගෙන මම කුකීට කිව්වා යාළුවාගේ දූට හාදුවක් දෙන්න කියලා. කුකීත් මගේ වචන ටික පිට වෙන පරක්කුවෙන් ඒ දූගේ බෙල්ල බදාගෙන හාදුවක් දුන්නා. හැබැයි ඒ මම දැක්ක විදිහ. කුකී හාදුව දුන්න හැටියේම ඒ කෙළි පොඩිත්ති හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගත්තා. මොකක් ද දන්නවා ද එයා කරලා තියෙන්නේ? කුකී අහිංසක පොඩි එකීගේ මූණ හපලා.
කුකී එහෙම කළේ නොදරුවා කාලේ. දැන් නම් එයා එහෙම කාටවත් ඊර්ෂ්‍යයා කරන්නේ නෑ. එදා එයාට දැනුණේ එයාගේ අම්මා එයාට වඩා වෙන බබෙක්ට ආදරය කරනවා කියන හැඟීම.’
කුකී දැන් නම් කෙහොමත් ආදරේ නිසා කවුරු සමඟවත් තරහා වෙන්නේ නෑ. ඒ කුකීට ඔබේ ආදරය නොඅඩුව ලැබෙන නිසා. මේ කුකී වෙන කිසිවෙකු නොව කලක් මුතු කිරිල්ලියක ලෙස ඇවිදින් ඔබේ සිත් අහස වර්ණවත් කළ නෙහාරා පීරිස්. ‘පුංචි දවස්වල’ විශේෂාංගයෙන් මෙවර නෙහාරා පීරිස්ගේ ළමා කාලය පිළිබඳ අතීත මතක සටහන් ඔබ සමඟින් බෙදා හදා ගන්නේ ඇගේ ආදරණීය මෑණියන් වන නේෂාන්ති රම්මිකා පීරිස් මහත්මිය.
නෙහාරාට පුංචි දවස්වල ආදරේට කතා කළේ ‘කුකී’ කියලා. දුවට ඒ නම දැම්මේ එයාගේ බාප්පා. නෙහාරාව අපි බලා ගත්තේ හරියට ඇස් දෙක වගේ. දුව පුංචි දවස්වල එයාට කවදාවත්ම වැලි ඇටයක් නම් පෑගිලා නැතිව ඇති. ඉස්සර මට හරිම බයක් තිබුණා මගේ දූ කොයි වෙලාවකදී හරි වැටෙයි කියලා. ඒ නිසා හැම මොහොතකදීම මගේ ඇහැ තිබුණේම මගේ දෝණි ළඟ.
කුකීට අවුරුදු දෙකහමාරක් වෙන කොට මම එයාව පෙර පාසල් දැම්මා. ඒ නිසා එයා තමයි පෙර පාසලේ හිටපු පුංචිම පැංචි. පුංචි පැංචි වුණාට කිසිම වැඩකදී පිටිපස්සට නම් යන්නේ නෑ. දැන් වගේම නෙහාරා පොඩි කාලෙත් නටන්න වගේම සිංදු කියන්නත් හරිම දක්ෂයි. පෙර පාසලේදී විතරක් නෙවෙයි, ඉස්කෝලෙදිත් නෙහාරා නැතිව විවිධ ප්‍රසංගයක් නම් කෙරෙන්නෙම නෑ.
දුව පොඩි කාලේ ටිකක් වසයි වගේම දඟයි. දවසක් මම ගමනක් ගිහිල්ලා ගෙදර එනකොට දොඩම් ගෙඩි දෙකක් උස නැති කෙළි පැටික්කිය මගේ සාරියක් පටලවා ගෙන හරියට පුංචි ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වගේ. හැබැයි මගේ පුංචි ඉස්කෝලේ හාමිනේට එදා නම් මගෙන් පාරවල් දෙක තුනක් වැදුණා. ඒ මගේ සාරියක් ඇඳගෙන සෙල්ලම් කළ නිසා නම් නෙවෙයි. ඉස්කෝලේ හාමිනේට නොගැළපෙන වැඩක් කළ නිසා. දුව මගේ මේකප් සෙට් එක අරගෙන මූණේ හැම තැනම ගාගෙන. මේකප් කිරීම මොන වගේද කිව්වොත් ලිප්ස්ටික් දත්වලත් උලාගෙන.’
සමහර පුංචි පැටව් නින්දෙන් හිනා වෙනවා. ඒකට අපේ අම්මලා නම් කියන්නේ දරුවෝ හිනා වෙන්නේ දෙවියන් එක්ක කියලා. හැබැයි කුකී නම් දෙවියන් එක්ක හිනා වෙලා තියෙන්නේ ඇඟිල්ලක් උරන ගමන්මයි. ඒ ගැන සහ තවත් රසබර මතකයන් නේෂාන්ති මහත්මිය අප සමඟ බෙදා හදා ගත්තා.
පුංචි කාලේ මගේ දූ සිඟිත්තිය නිදා ගන්න කොට නම් හුරතල් වැඩ කීපයක්ම කළා. කුකීට වඩා අවුරුදු හතරක්ම මල්ලි බාලයි. කුකීට අවුරුදු හතරක් වෙනකන්ම එයා තමයි අපේ හුරතල් චණ්ඩි පැටියා. ඒ නිසාම සමහර වෙලාවට අපි දුවගේ දඟ වැඩවලට තරවටු කළෙත් නෑ. කුකී පුංචි කාලේ නිදා ගන්න කොට ‘බුසු බුසු’ ගාලා ඇඟිල්ල උරනවා. ඇත්තම කිව්වොත් එයා ඇඟිල්ල උර උර නිදා ගන්න හැටි මම බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. එහෙම බලාගෙන ඉන්න කොට සමහර වෙලාවට මට හිතෙනවා එයා රස කර කර ඇඟිල්ල උරන්නේ ඒ ඇඟිල්ලෙන් පැණිවත් එනවද කියලා. කෙහොම වුණත් කුකීගේ ඇඟිලි ඉරීමේ පුරුද්ද නැති කරන්න අපිට විවිධ දේවල් කරන්න වුණා. බැරිම තැන ඇඟිල්ලේ කොහොඹත් ගෑවා. මොනවා කළත් දූ ඉස්කෝලේ එක වසරෙදිත් ඇඟිල්ල ඉරුවා.
නෙහාරාගේ පුංචි කාලේ සමහර පුරුදු අදටත් එයාට අත අරින්න බැරි වෙලා තියෙනවා. දුව චූටි දවස්වල ඉඳන්ම මම එයාව නිදි කරවලා ඇඳේ තියලා එයා ළඟ කොට්ටයක් තියනවා. ඇත්තම කිව්වොත් අදටත් එයාට කොට්ටයක් ළඟ නැත්නම් නින්ද යන්නේ නෑ. කොට්ටෙ ළඟ තිබුණටම හරි යන්නෙත් නෑ. කොට්ටෙ කෙළවර අතින් අල්ල ගන්නත් ඕනෑ. එතකොට තමයි එයාට නින්ද යන්නේ.
නායකත්වය, ක්‍රියාශීලිත්වය නෙහාරා උපතින්ම ගෙනා දේවල්. දුව පාසලේ ශිෂ්‍ය නායිකාවක්. පාසලේ බාස්කට් බෝල් කණ්ඩායමෙත් සාමාජිකාවක්. දැන් මගේ දෝණි සම්මානයට පාත්‍ර වුණු නිළියක් වුණත් එයාට ප්‍රථම සම්මානය ලැබෙන්නේ රංගනය නිසා නම් නෙවෙයි. දූ අවුරුදු හතේදී භාෂාව හැසිරවීමේ කුසලතාව නිසා ප්‍රථම වරට සම්මානයක් හිමි කර ගත්තා. එලකියුෂන් සඳහා පැවැති ඒ තරගයේදී ලකුණු සීයෙන් සීයම ගන්න එයාට හැකි වුණා.
නෙහාරා පුංචි දවස්වල දඟ වැඩ කළාට හරිම හොඳ දරුවෙක්. එයා හරිම සංවේදීයි. දුව කිසිම මොහොතකදී නැති බැරි අයට උදවු කරන්න දෙපාරක් හිතන්නේ නෑ. ඒ වගේම එයාට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මගේ පුංචි කුකී දැන් ලොකුයි. ඒ හින්දා ජීවිතයේදී එයාට ලැබෙන අභියෝගයන්ට එයා අභියෝගයක් වන බව මට විශ්වාසයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money