Tuesday, October 11, 2011

සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම

නීතියට කළ නොහැකි
බොහෝ දේ මිනිස්‌කමට කළ හැක


බොහෝ දේ සිදුවී හමාරය. තව සිදු වන්නට බොහෝ දේ ඉතිරිවී ඇත. සිදු වූ දෙයින් අල්පයක්‌ අපි දුටුවෙමු. ඒ මීට වසරකට පමණ පෙරය. එම අවස්‌ථාව අපට උදාකර දුන්නේ අම්පාර දිසා වන නිලධාරි ලලිත් ගමගේ මහතාය. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අම්පාර එක්‌ගල්ඔය නිකේතනයට අපි ගියේ පරිසරයේ අසිරිය විඳ ගැනීම සඳහාය. ඒ ගමනට මාත් සහෝදර මාධ්‍යවේදී තිස්‌ස ගුණතිලකත් ඡායාරූප ශිල්පී සුජාතා ජයරත්නත් එක්‌ වූහ.

ගමනේ අතුරු චාරිකාවක්‌ ලෙස අපි අම්පාර මහ ඔය 69 කණුව විශේෂ කාර්ය බලකා කඳවුරට ගොඩ වූයේ ලලිත් ගමගේ මහතාගේ පෙරැත්ත කිරීම නිසාමය. එහිදී අපට එම විශේෂ කාර්ය බලකා කඳවුරේ අණ දෙන නිලධාරි ප්‍රදාන පොලිස්‌ පරීක්‍ෂක බී. ඒ. ජයතිලක නොහොත් අම්පාරේ යෝධයා මුණ ගැසුණි. ඔහු පසුගිය 25 වැනිදා පෙරවරුවේ එම කඳවුරේ සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතාට වෙඩි තබා ඝාතනය කොට තමා ද සිය දිවි නසා ගත් පුවත අපට අසන්නට ලැබිණි.

කුරිරු ත්‍රස්‌තවාදයේ ශාපයෙන් වසර තිහක කාලයක්‌ පීඩාවට පත්ව සිටි අම්පාර වැසියන්ගේ ජන ජීවිතය නගා සිටුවීමට ජයතිලක මහතා නොකළ දෙයක්‌ නැත. ගිනියම් හිරු රශ්මියත්, කර්කශ මහා පොළොවත් සමග නිරතුරුව ඔට්‌ටු වන නැගෙනහිර මායිමේ ජනතාවගේ යුධ බියත් දරිද්‍රතාවත් අභිබවමින් නැගී සිටි දිය පිපාසය සංසිඳවූයේ අන් කිසිවකු නොව ජයතිලක මහතාය. ඔහුගේ දාඩිය මහන්සියෙන් අම්පාර මහඔය 69 කණුව ප්‍රදේශයේ ජනතාවට තනා දුන් ළිඳෙන් දිය රැගෙන යන්නට එන ගම්වැසියන් ඔහුගේ දෙපා නමදිනු අපි දුටිමු. කුස ගිනි උහුලමින් වුවද ශිල්ප සතර ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් ඔහු දිරිය සවිය ලබා දුන්නේ පොත් පත් ඇතුළු බෙහෝ දෑ සපයමිනි. උපයන මාසික වැටුපෙන් කොටසක්‌ තම දරුවන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට බිරිඳ වෙත යෑවූ ඔහු ඉතිරි කොටස අම්පාරේ දුක්‌විඳින ජනතාව වෙනුවෙන් වැය කළේ බෝධිසත්ව ගුණයක්‌ නිසා නොවන්නේද? මරන්නට ගෙන යන ගවයින් දහස්‌ ගණනක්‌ මුදා ගනිමින් ගම්වැසියන්ට ගව පට්‌ටි තනා දුන් ඔහු එම එළදෙනුන්ගේ කිරිවලින් කොටසක්‌ මහ ඔය 69 කණුව ග්‍රාමයේ දුගී පවුල්වල දරුවන්ගේ කුසගිනි නිවීම සඳහාම වෙන් කරනු ලැබීය. දුප්පත්කමේ පතුලටම කි¹ බැස සිටි එම දරුවන් ජයතිලක මහතාගේ ආලෝකයෙන් දිරි ලැබ හොඳින් ඉගෙනීමේ කටයුතුවල යෙදුනු බවට සාක්‍ෂි සැපයූයේ එම දරුවන් තම අත් අකුරින් ලියා එවූ දහස්‌ ගණනක ලිපි එකතුව ජයතිලක මහතා විසින් අප වෙත යොමු කරනු ලැබීමෙනි. එම දරුවන්ගේ සතුට, දොම්න ස අහිංසකත්වය එම ලිපිවලින් දැකගත හැකිය. ඔහු එම දරුවන්ට අප්‍රමාණ පිය සෙනෙහසකින් යෝධ සවි ශක්‌තිය සැපයූවේය.

පොලිස්‌ කොස්‌තාපල්වරයකු ලෙස සේවයට බැඳුණු ජයතිලක මහතා විශේෂ කාර්ය බලකායේ අභීත රණවිරුවකු ලෙස යුධ සමයේ පෑ දස්‌කම් වෙනුවෙන් සම්මාන බුහුමන් ද ලැබීය. ඔහු දක්‍ෂ වෙඩික්‌කාරයෙකි. මහ ඔය විශේෂ කාර්ය බලකා කඳවුරට අපි යන විට ඔහු සෙබළු පිරිසකට වෙඩි පුහුණුව දෙමින් සිටියේය. ගව් ගණනක්‌ දුරින් පෙණුනු මහා ගල් කුලක්‌ ඉලක්‌ක කර ගනිමින් වෙඩි පුහුණුව සිදු කෙරෙන අයුරු අපි දුර සිට දුටිමු. අප දුටු සැනින් වෙඩි පුහුණුව නැවතුණි. අපි ඊට බාධා නොකළත් ජයතිලක මහතා කන් වැසුමක්‌ හැaර කදජනැර සෙබලකු ගෙන් ලබා ගෙන අප වෙතට වහ වහා ළං විය. අප සමග මේ ගමනට එක්‌වූ මාගේ දියණිය (අවුරුදු 4 යි) වෙතට පැමිණි ජයතිලක මහතා වහාම කන් වැසුම දියණියගේ කන්දෙන වැසෙන ලෙස පැළඳුවේය. එසැනින් වෙඩි පුහුණුව යළි ඇරඹිණි. වෙඩි හඬින් අපගේ කන් අඩි පුපුරා යන්නාක්‌ මෙන් දැනුණි.

හදිසියේම යළි දියණිය සමීපයට පැමිණි ජයතිලක මහතා zzමෙයා නම් හරිම ළමයෙක්‌ තමයි. හෙමිහිට එක කන් ආවරණයක්‌ ඈත් කරලා වෙඩි හඬ අහගෙන හිටියා.ZZ යනුවෙන් සිනහාසෙමින් පැවසුවේය. ඔහු දරුවන් කෙරෙහි කොතරම් සංවේදී දැයි මෙයින් අපට පසක්‌ විය. ඔහු ඒ මොහොතේ කල්පනා කළේ දරුවාගේ ආරක්‍ෂාව පිළිබඳවය.

වෙඩි පුහුණුවෙන් පසු ඔහු අපව කඳවුරු භූමියේ එක්‌ ස්‌ථානයකට රැගෙන ගියේය. සපත්තු පැළඳ සිටියත් ගිනියම් මහ පොළොව අප පා දවන අයුරු දැනෙන්ට විය. අව් රශ්මියෙන් අපව ආවරණය කිරීමට හිස්‌ වැසුම ප්‍රමාණවත් නොවීය. එහෙත් ඔහු හිස්‌ වැසුමකුදු නොමැතිව අප සමග ගමන් කළේය. කාෂ්ඨක පරිසරයේ සොඳුරු සිසිළසක්‌ අපට දැනෙන්නට විය. ඒ ඔහුගේ පරිසර සංරක්‍ෂණාගාරය තුළදීය. ශ්‍රී ලංකාවේ දුලභ හා වඳවීගෙන යන සුවිසල් ශාක වර්ග රැසක්‌ එම භූමියේ ඔහු සාත්තු සප්පායම් කරමින් වගා කර තිබිණි. ඔසු උයනක්‌ ද විය. තාරාවුන්, හාවුන්, ඉත්තෑවුන් නිදැල්ලේ සැරිසරනු දුටිමු, අතිශයින්ම කටුක, දිය දෝතක්‌ සොයාගන්නට නොහැකි අම්පාර මහඔය ප්‍රදේශයේ මෙවැනි පරිසරයක්‌ තිබිය හැකිද? සත්තකින්ම ඒ ඔහුගේ වීර වික්‍රමයකි. ඔහුට ගම්මු යෝධයා යෑයි කියන්නට ඇත්තේ මෙවැනි යෝධ වැඩ නිසාමය. ඔහු දීර්ඝ කාලයක්‌ පරිසරය සුරැකීම උදෙසා කළමෙහෙවරට පරිසර අමාත්‍යාංශයෙන් සම්මාන ද හිමි විය. එහෙත් ඒ සම්මාන දසදහසකට වඩා ඔහු ඒ පරිසරයේ අසිරිය අත්වින්දේය.

ත්‍රස්‌තවාදී ප්‍රහාරවලින්a මුළුමනින්ම විනාශවී ගිය අම්පාර වැසියන්ට නිවාස තනා දෙමින් ඔවුන්ගේ හිසට සෙවණ සලසන්නට ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළා පමණක්‌ නොව දෑතේ සවියෙන් එම නිවාස ඉදිකිරීමට ද ඔහු ශ්‍රමය ශක්‌තිය කැප කළේය. වසර තිහක්‌ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට ඔහු පුදුමාකාර සැනසීමක්‌ විය. මෙවැනි සමාජ සත්කාරක සේවාවන් ඔහු කළේ රජයේ මුදල් වියදම් කරමින් පත්කරවල, රූපවාහිනි රූප රාමුවල මුහුණ පෙන්වා ගැනීමට නම් නොවේ. ඔහු අපගෙන්ද ඉල්ලා සිටියේ මේවා පත්තරවල දාන්න නෙවෙයි පුළුවන්නම් මේ ළමයින්ට පොත්පත් ටිකක්‌a එවන ලෙසය.

ගමක්‌ එළිය කළ ඒ දුගී දුප්පත් ජනයාගේ හද ගැස්‌ම බඳු වූ ඔහු පසුගිය බදාදා (28 වැනිදා) රත්නපුර පොල්හේන්ගොඩ සුසාන භූමියේ හුදෙකලා කොට සියල්ලෝම නික්‌ම ගියහ.

ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමන්නට වීර රණවිරුවකු ලෙස රට ජාතිය වෙනුවෙන් මහා මෙහවරක්‌ ඉටු කළ ඔහු අවසන් ගමන් ගියේ එවන් අභීත රාජ්‍ය නිලධාරියකුට හිමි නිලතල විශ්‍රාම වැටුප් ඇතුළු සියලු දැ අහිමි කර ගනිමිනි. මුළු ජීවත කාලය පුරාම අන් අයගේ සුව සෙත වෙනුවෙන් කැප වුණු ඔහු හරි හම්බ කළ දෙයක්‌ නැත. පොදි ගැසූ දෙයක්‌ ද නැත. මාසික වැටුපෙන් අඹු දරුවන් වේල පිරිමසා ගත්තා පමණි. දැන් දියණියන් තිදෙනකු සහ බිරිඳ අන්ත අසරණ බවට පත්ව ඇත. ඔවුන් තවමත් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිති. වැඩිමල් දියණියට වයස අවුරුදු 14 කි. මද්දුම දෝනිට අවුරුදු 12 ක්‌ වන අතර බාල දියණියට වයස අවුරුදු 9 කි. රැකියාවක්‌ කිරීමටවත් ඔවුන්ට හැකියාවක්‌ හෝ සුදුසුකමක්‌වත් ඇත්තේ නැත. ඔහුගේ වියෝවෙන් මේ අසරණ දරු තිදෙනාගේ පාසල් ගමන අනතුරට පත්ව තිබේ. දස දහස්‌ ගණනක්‌ දරුවන්ගේ නැණස පාදන්නට කැපවුණු ඔහුගේ දූවරුන් තිදෙනාට එවන් ෙ€දනීය ඉරණමක්‌ අත්විඳීමට දෛවය ඉඩ දෙන්නේ නම් එය මහා පොළව පවා නුහුලන්නක්‌ නොවන්නේද?

zzඅපේ තාත්තා අපට කිව්වේ හොඳට ඉගෙන ගන්න කියලයි. තාත්තා මේ රටේ දරුවෝ වෙනුවෙන් ගොඩක්‌ දේවල් කළා. අපි තුන්දෙනාටත් තාත්තා ගොඩාක්‌ ආදරෙයි. අද අපට තාත්තාත් නැති වුණා. ඉගෙන ගන්න, ජීවත් වෙන්න විදියකුත් නැතිවුණා. අම්මාටත් රස්‌සාවක්‌ කරන්න බැරි තරම් අසනීපයි. අපේ රටේ දරුවන්ට ගොඩාක්‌ ආදරය දක්‌වන ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලන්නේ අපි තුන්දෙනාට ඉගෙන ගන්නයි. ජීවත් වෙන්නයි තාත්තාගේ පැන්ෂන් එකවත් අපට දෙන්න කියලයි.ZZ ජයතිලක මහතාගේ වැඩිමල් දියණිය මාධ්‍ය ඔස්‌සේ එසේ ආයාචනා කළේය.

අතිශය සංවේදී කාරුණික පුද්ගලයකු වුවත් වෙනස්‌ වන්නට තත්පරයෙන් දහයෙන් පංගුවක්‌ වුවද ප්‍රමාණවත්ය. ජයතිලක මහතා සාමාන්‍යයෙන් කෝප ගන්නා තැනැත්තකු නොවන බව බොහෝ දෙනා පවසතත් ඔහුගේ වෙඩි පහරින් සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මිය ගිය බව කියෑවේ. කිසියම් අවස්‌ථාවක සිසිර කුමාර මහතා විසින් ජයතිලක මහතාගේ අසනීප තත්ත්වයකදී බෙහෙවින් උදව් උපකාර කරනු ලැබූ බවද කඳවුරේ නිලධාරීහු අප සමග පැවසූහ. දෙදෙනා අතර අමනාපකමක්‌ මින් පෙර නොතිබුණත් නිවාඩු ලබා ගැනීමේ රාජකාරිමය ගැටලුවක්‌ හේතුවෙන් මතභේද හටගෙන තිබූ බව දැන ගන්නට ඇත.

කෙනෙකු ඝාතනය කර තමා ද මිය යන්නට තරම් කෝපයක්‌ කෙසේ උපන්දේ දැයි දන්නා කෙනෙකු නැත. පෙර කීවා සේ බොහෝ දේ සිදුවී හමාරය. දැන් කළ යුතුව ඇති දේ කළ යුතුය. එම සිද්ධියේ පසු විපරම් නීතියටභාරවී තිබේ. ඔවුන් දෙදෙනාම මේ රටට අගනා වටිනා සිටිය යුතු වූ දෙදෙනකු වුවත් රාජකාරි නීතියක්‌ හරිස්‌ වීමෙන් ඔවුන් රටට අහිමි වන්නට ඇත. නීතිය හමුවේ අද දරු පවුලක්‌ අසරණවී සිටී. නීතියෙන් කළ නොහැකි බොහෝ දේ මිනිසත්කමට භාර කළ හැකි නොවේද?. මේ අසරණ දූ වරුන් තිදෙනාගේ හෙට දවස අඳුරු අගාධයකට නොහෙළන්නට රට ජාතිය වෙනුවෙන් සහ මේ රටේ දුගී දුප්පත් දරුවන් වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කළ ජයතිලක මහතාගේ මනුස්‌සකමේ නාමයෙන් ඉඩ නොදිය යුතුය. අතිගරු ජනාධිපතිතුමනි, මේ රටේ දරුවන්ගේ ආදරණීය පියාණෙනි දරු සෙනෙහසේ දෑත් මේ දරුවන් වෙනුවෙන් දිගු කළ මැනවි.

තුෂාරී කළුබෝවිල

Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money