Wednesday, October 26, 2011

මගේ නොතේරුම්කමට එයාව අහිමිවුණා

මගේ නොතේරුම්කමට එයාව අහිමිවුණා
නැතිවුණ ආදරය ගැන ජානකී කතා කරයි

එයාට දැන් වෙනම ලෝකයක්‌ තියෙනවා

පූජා වෘත්තියෙන් ගුවන් සේවිකාවක්‌. එයාගේ ආදරවන්තයා වුණේ කෝසල. කෝසලගේ ආදරය අතරමග නැවතුණ නිසා පූජා හරිම දුකෙන් තමයි කාලය ගත කරන්නේ. මේ විදිහට දුකෙන් ඉන්න අතරතුරේ ඇයට ජීවන්තව හමුවෙනවා. සතියේ දින පහේම රාත්‍රි 8.00 ට ඔබේ නිවහනට ගොඩවෙන මේ පූජා සැබෑවටම කවුද?. ගොඩක්‌ දෙනා මේ දවස්‌වල කතා බහ වෙන්නේ ඇය ගැනයි. වෙනස්‌ම ආරක්‌ රැගෙන නිර්මාණය වුණු පූජා ටෙලියේ නිෂ්පාදිකාව වන්නේද පූජා චරිතයෙන් ඔබ හමුවට එන ජානකී විඡේරත්නයි. ආදරය ගැන දුකින් තැවෙන පූජාගේ සැබෑ ජීවිතයේත් එවැනි අත්දැකීම් තිබෙනවා කියලද දැන ගන්න අපි අදහස්‌ කළා.

නම - ජානකී විඡේරත්න රැ ගම - නුවර
පාසල - නුගේගොඩ හයිලන්ඩ් සහ සිරිමාවෝ බණ්‌ඩාරනායක
උපන් දිනය - මැයි 25
ආගම - බුද්ධාගම
ලග්නය - කටක

ජානකී පසුගිය කාලයේ කොහෙද හිටියේ ?

පසුගිය කාලයේ මම ලංකාවේ හිටියේ නැහැ. අවුරුදු හයක්‌ විතර ජීවත් වුණේ එංගලන්තයේ. එහිදී මම ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් කියන උපාධිය හැදෑරුවා. දැන්නම් ලංකාවට ඇවිත් අවුරුද්දක්‌ විතර වෙනවා. පසුගිය කාලයේ මම නිතර දෙවේලේ ලංකාවට ඇවිත් ගියා. දැන්නම් දිගටම ලංකාවේ තමයි ඉන්න බලාපොරොත්තුව. එහෙ හිටපු කාලයේ මම රැකියාවකුත් කළා.

ඒකද වැඩිපුර නිර්මාණවල දකින්න නොලැබුණේ ?

ඒකත් එක හේතුවක්‌ තමයි. අනික මම එකදිගට රඟපාන්න කැමැති නැහැ. එකම මුහුණ නිතර දකින කොට මිනිස්‌සුන්ට වුණත් එපාවෙනවනේ. ඒක නිසා මට හිතෙන්නේ තෝරාබේරාගෙන රඟපෑවනම් හොඳයි කියලා. එවිට එම චරිතයට වුණත් උපරිම සාධාරණයක්‌ කරන්න පුළුවන්.

ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කරන්න හිතුණේ ?

මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණා කවදාහරි දවසක ටෙලිනාට්‍යයක්‌ කරනවා කියලා. හැබැයි මේ දෙය නම් සිද්ධවුණේ අහම්බෙන්. සාමාන්‍යයෙන් එදිනෙදා දකින ටෙලි නාට්‍යවලට වඩා වෙනස්‌ ආරක්‌ අරගත් දෙයක්‌ කරන්න තමයි මට වුවමනා වුණේ. එයට මේ වෙනකොට ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට නම් හිතෙන්නේ මගේ උත්සාහය සාර්ථක වෙලා කියලයි.

ඔබ නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයක්‌ නිසාද ප්‍රධාන චරිතය රඟපාන්නේ ?

එහෙම දෙයක්‌ නැහැ. ඇත්තටම මම නිෂ්පාදනයට යොමුණේ පස්‌සේ. මුලින්ම මට ආරාධනා ලැබුණේ රංගනයෙන් දායක වෙන්න විතරයි. පස්‌සේ මට අහම්බෙන් නිෂ්පාදිකාවක්‌ වෙන්න ලැබුණා. දමිතා අබේරත්න තමයි මේ චරිතයට මාව යෝජනා කරලා තියෙන්නේ.

පූජා වගේ ගුවන් සේවිකාවක්‌ වුණා නම් ඔයාටත් හොඳ නැතිද?

පාසල් යන කාලේ එහෙම ආසාවක්‌ තිබුණා. මට එවැනි ආරාධනාත් ලැබුණා. අනික මම කොහොමටත් කැමැති නැහැ හැම තිස්‌සෙම ගුවන් සංචාරයේ යෙදෙන්න. ඉඳලා හිටලා නම් කමක්‌ නැහැ. වෘත්තියක්‌ විදිහට ඒ වගේ රස්‌සාවක්‌ කරන්න ආසාවක්‌ නැහැ.

ජානකී ඇයි නිළියක්‌ වුණේ ?

ඒක අහම්බෙන් වෙච්ච දෙයක්‌.

අහම්බෙන් නිළියක්‌ වුණේ කොහොමද ?

98 අවුරුද්දේ සිරිමාවෝ විද්‍යාලයේ "සිරිමාවෝ රූප රැජිණ" කියලා තරගයක්‌ පැවැත්වුවා. එයට මම ඉදිරිපත් වුණා. එතැනදී ගත්තු පින්තූර පත්තරවල පවා පළවුණා. ඊට පස්‌සේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක්‌ කට්‌ටිය අඳුරගන්න ලැබුණා. අනෙක්‌ කාරණාව තමයි අයිරින් ලියනගේ කියන්නේ මගේ ආච්චි. එයා මගිනුත් ගොඩක්‌ කලාකරුවන් අඳුරගන්න ලැබුණා. ඒ අඳුරාගැනීම තුළ තමයි රංගනයට ආවේ.

අද කාලේ සමාජයේ නිළියන් ගැන හොඳ පැහැදීමක්‌ නැහැ නේද?

අපිට මිනිස්‌සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස්‌ කරන්න බැහැ. මම හිතනවා තමන්ගේ ගෞරවය රැකගෙන මේ වෘත්තියේ නිරත වෙන්න පුළුවන් කියලා. ලංකාවේ විතරයි මේ විදිහේ ආකල්ප තියෙන්නේ. හොලිවුඩ්, බොලිවුඩ් වල නළු නිළියන්ට ගොඩක්‌ ගරු කරනවා. වගේම හොඳ පිළිගැනීමකුත් තිබෙනවා. ඇයිද දන්නේ නැහැ ලංකාවේ මේ වගේ පිළිගැනීමක්‌ තියෙන්නේ.

රඟපානවාට ගෙදරින් විරුද්ධ නැතිද?

ගෙදරින් ලොකු කැමැත්තක්‌ නැහැ. ආච්චිගෙන් ඇරෙන්න වෙන කිසිම කෙනෙකුගෙන් සහයෝගයක්‌ ලැබෙන්නේ නැහැ.

පවුලේ විස්‌තර ටිකකුත් කියමු...

මට මල්ලිලා දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු මල්ලි ඉන්නේ ලංකාවේ. පොඩි මල්ලි නම් තවම ඉන්නේ එංගලන්තයේ. මගේ තාත්තා මම පොඩි කාලෙදිම නැති වුණා. අම්මා විතරයි ගෙදර ඉන්නේ.

පූජා ඔබේ රංගන ජීවිතයේ ලොකු වෙනසක්‌ කරයි කියලා හිතනවද?

අනිවාර්යයෙන්ම. මොකද පූජා වෙනස්‌ම විදිහේ ටෙලි නාට්‍යයක්‌. එහි ඇඳුම් පැළඳුම්, පසුතලය, වාහන කියන මේ හැමදෙයක්‌ම වෙනස්‌ විදිහට තමයි අරගෙන තියෙන්නේ. මගේ මූලික අරමුණ තිබ්බෙත් ගොඩක්‌ හොඳ නිර්මාණයක්‌ කරන්න.

දැන් ඉතිං කලවයසත් හරිනේද?

ඒ ගැනත් හිතන්න ඕනෑ. හැමදේම වෙන්නේ තමන්ගේ දෛවය අනුවනේ. දෛවයේ ලියවිලා තියෙන විදිහට එයත් සිදුවේවි.

මොනවගේ කෙනෙක්‌ද හොයන්නෙ?

මාව තේරුම් ගත්ත කෙනෙක්‌ වෙන්න ඕනෑ. විශේෂයෙන් සිගරට්‌ බොන්නේ නැති මට ආදරය කරන කෙනෙක්‌ වෙන්න ඕනෑ.

තවම එහෙම කෙනෙක්‌ හමුවුණේ නැතිද?

මාව තේරුම් ගත්ත එහෙම කෙනෙක්‌ හම්බවුණා. මගේ නොතේරුම්කමට එයාව අහිමිවුණා. ඒ දේ කරගත්තේ මගේ වැරුද්දෙන්. ඒ ගැන අදටත් දුක්‌වෙනවා.

ඒ කියන්නේ ජානකී ආදරය විඳලා තියෙනවා කියලද?

අනිවාර්යයෙන්ම.

දැන් ඔහු කතා කරන්නේ නැතිද?

නැහැ. මම හිතන්නේ එයාට දැන් වෙනම ලෝකයක්‌ තිබෙනවා. අනික අපි දැන් ඒ ගැන කතා කරන එකත් සුදුසු නැහැ.

විලාසිතා ගැන ඔබ හිතන්නේ කොහොමද?

මම විලාසිතා කරනවා. හැබැයි මට ගැලපෙන විදිහට. එහෙම නැතිව කාලෙන් කාලෙට එන විලාසිතා මම කරන්නේ නැහැ

දිනේෂ් විතාන
ඡායා - දිනේෂ් ගමගේ
හැඩගැන්වීම - තුෂාර සොයිසා
පසුතලය - ප්‍රජායා හොටෙල්, ගල්කිස්‌ස 

Copy Rights - Divayina 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money