Sunday, October 23, 2011

රසිකයිනි, අහුවෙන්න එපා මගේ නමට ෆේස් බුක් නැහැ

රසිකයිනි, අහුවෙන්න එපා මගේ නමට ෆේස් බුක් නැහැ


විශ්වනාත් කොඩිකාර

මෑත භාගයේ රංගනයට එක්වූ නවක නළුවන් අතර විශ්වනාත් කොඩිකාර බොහෝ දෙනා දැන හඳුනාගත්තේ ‘පබළු’ ටෙලි නාට්‍යයේ හසරැල්ගේ චරිතයෙන්. විශ්ව මේ දිනවල ‘අමා’ ටෙලි නාට්‍යයෙන් ද ඔබට මුණගැහෙනවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාරගේ පුතණුවන් වන විශ්වනාත් කොඩිකාර පසුගිය දවසක ‘රසඳුන’ හා කළ සංලාපයයි මේ.

විශ්වනාත් කොඩිකාර කියන්නෙ කවුද?
මේ සමාජයේ සාමාන්‍ය විදිහට ජීවත්වෙන සාමාන්‍ය තරුණයෙක් පමණයි.
විශ්වනාත්ට කලාවට එන්න මඟ විවර වෙන්නේ පියා කලාව තුළ ඉන්න නිසා ද?
ඔව් ක්ෂේත්‍රයට එන්න මගේ තාත්තගේ බලපෑම මට ලැබුණා. ඔහුගෙන් ලැබුණු පන්නරය මට බලපෑවා. මහේන්ද්‍ර පෙරේරා යටතේ අවුරුදු දෙකහමාරක් මම රංගනය ඉගෙන ගත්තා.
මම හිතන්නේ ඔබ කලාවට පය ගහන්නේ සිනමාවෙන්?
පැහැදිලිවම. ‘සදාදර ජෝති’ චිත්‍රපටයෙන් මම රංගනයට එන්නේ. ඒත් ඊට කලින් 1993 දී ‘නොහඬන් ළඳුනේ’ චිත්‍රපටයේ රංජන් රාමනායක ගේ ළමා කාලය රඟපාන්න අවස්ථාව මට ලැබුණා. ඊට පසුව 2009 මුල් කාලයේ ‘බෝම්බ හා රෝස’ සිනමාපටයටත් එක්වුණා. 2010 දී ‘පබළු’ ටෙලි නාට්‍යයෙන් මා පුංචි තිරයට ආවා.
දැන් ඔබ හිතනවද ඔබ බොහෝ දෙනෙක් දන්නා හඳුනන ජනපි‍්‍රය චරිතයක් කියලා.
කොහෙත්ම මම එහෙම හිතන්නෙ නැහැ. මොකද මම ජනපි‍්‍රය නැහැ. මාව කිහිප දෙනෙක් දන්නවා ඇති. ඒ ඇරෙන්න මම ඔය ගැන වැඩිය හිතන්නෙ නැහැ.
ක්ෂේත්‍රයට එන්න නම් රංගනය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි කියලා ඔබ විශ්වාස කරනව ද?
මම විශ්වාස කරනවා පුළුල් අවබෝධයක් තිබිය යුතුයි කියලා. මොකද හරි දේ කරන්න බැරි නම් අද මේ තුළ රැඳෙන්න බැහැ. දැනුමක් නැතුව හරියට දෙයක් කරන්න බැහැ කියලයි මම හිතන්නේ.
හැබැයි ඔබට කරන්න වුණේ සීනි බෝල චරිත කියලා කෙනෙක් කියනවානම්.
කොහොමද චරිතයක් එහෙම වර්ග කරන්නෙ? සීනි බෝල ද නැති ද කියලා කියන්නෙ මොන පදනමින් ද? මොකද අපි දන්නවා අපි චරිතයක් කරන්න ගියාම ඒ විඳින දුක. මොන දේ කරන්නත් ඒ චරිතය හඳුනගන්න ඕන. ඒක හදාරන්න ඕන. සීනි බෝල හදන්න වුණත් ඒක දැන ගෙන කරන්න ඕනනේ.
හොඳයි ඔබට ලැබෙන ඕනෑම චරිතයක් කළ හැකියි කියන තැන ද ඔබ ඉන්නෙ.
අනිවාර්යයෙන්ම රංගන ශිල්පියෙක් වුණාම තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා පවා කියලා තියෙන්නේ රංගන ශිල්පියෙක් විදිහට ඒ අභියෝගය භාරගන්න පුළුවන් මට්ටමට තමන් සිටිය යුතුයි කියලයි.
ඒ කියන්නෙ රංගනයෙදි ඔබට සීමා මායිම් නැහැ.
මෙහෙමයි තමන්ට එය ගැළපෙනවද කියලා බලන්න ඕන. ඊට පස්සෙ ඒ දේ මම කරනවා.
රංගන ශිල්පියෙක් නොවුණානම් අද ඔබ කවුරු වේවි ද?
එහෙමනම් මම ගුවන් හමුදා නිලධාරියකු විදිහට ඉඳියි. මොකද මම පාසලේ අවුරුදු අටක්ම කැඩෙට් නිලධාරියකු විදිහට කටයුතු කළා. ඒ නිසා ගුවන් හමුදාවට එකතුවීමේ කැමැත්ත මට තිබුණේ. නමුත් කලාවට ප්‍රවිෂ්ට වීමත් සමඟ ඒ සිහිනය සිහිනයක්ව වුණා කියලයි මට හිතෙන්නෙ.
මින් ඉදිරියට ඔබේ වෘත්තිය රංගනය පමණක් කියල ද ඔබ කියන්නෙ.
කලාව තුළ දිගු ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා ඒ තුළ වෘත්තිය පැවැත්මක් මට තියෙයි.
කවදා හෝ දවසක පේ‍්‍රක්ෂකයින්ගේ ඈත්වෙලා ඔවුන්ගෙන් ලැබෙන තීරණයක් එක්ක මම යන ගමන නවතීවි.
පසුගිය කාලයේ ඔබ ගැන විවිධ පුවත් අන්තර්ජාලය ඔස්සේ දකින්න ලැබුණා.
කටකතා හැදෙන එක හෝ ප්‍රවෘත්ති මවන එක මම එතරම් ගණන් ගන්නේ නැහැ.
අපි හරියට ඉන්නවානම් එච්චරයි. කොහොමත් ඵල ඇති රුකට ගල් ගහන එක ස්වභාවයක්නේ. ඒ නිසා ඒ ගැන මම එතරම් හිතන කෙනෙක් නෙමෙයි.
එතකොට ඔබට ෆේස් බුක් එකවුන්ට් කීයක් තියෙනව ද?
ඒ දේ මම කියන්නම ඕන. මොකද මගේ කිසිම ෆේස් බුක් ප්‍රොපයිල් එකක් නැහැ අන්තර්ජාලයේ. මීට මාස අටකට කලින් පමණ මගේ ප්‍රොෆයිල් එකක් තිබුණා. නමුත් ජීවිතේට මම චැට් කරලා නැහැ. ඒත් අද වෙනකොට මගේ ප්‍රොෆයිල් අටක් පමණ තියෙනවා මගේ නමින්. ඒත් හැමෝටම මම කියන්න ඕන රැවටෙන්න අහුවෙන්න එපා ඒ මම නෙමෙයි. විශ්ව කොඩිකාරට ෆේස් බුක් එකවුන්ට් එකක් නැහැ.
අවසන් වශයෙන් අද ඔබ මේ ඉන්න තැන ගැන කතා කළොත්?
මට නිහතමානි සතුටක් තියෙනවා.



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money