Monday, October 3, 2011

චොප්පෙගෙ වත්ත

මරදානට ආපු මම නවාතැන් ගත්තේ චොප්පෙගෙ වත්තට අල්ලපු වත්තේ


දී.ග. සෝමපාල

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය එක්ව ප්‍රදානය කරන ලද 2011 වසරේ සෝලියස් මැන්දිස්’ ගෞරව සම්මානය මෙවර පිදුණේ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී දී.ග. සෝමපාලයන් වෙතයි. වාණිජ චිත්‍ර ශිල්පියකු, ඡායාරූප ශිල්පියකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ප්‍රචාරණ ශිල්පියකු හා ග්‍රන්ථ ප්‍රචාරණ ශිල්පියකු ලෙස විවිධ භූමිකා නිරූපණය කරන දී.ග. සෝමපාලයන් හා මේ කතා බහ, ඒ නිමිති කොටගෙනයි.

සම්මානෙ සතුට තවම වියැකී නැහැ....
ඇත්තටම. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොටගෙන පිදුණු මේ සම්මානය ජීවිත කාලයටම එක් වරක් පමණක් පිදෙන්නක්. බෞද්ධ චිත්‍ර කලාව හා පොදුවේ කලාව වෙනුවෙන් කළ කැපවීම හා අනූපමේය මෙහෙය උදෙසායි මේ සම්මානය පිරිනැමුණේ. අවුරුදු 25ක් තිස්සෙ පෝයට අදාළ සිදුවීම චිත්‍රයට නඟලා බිස්කට් සමාගමක් විසින් පුවත්පත් දැන්වීමක් ලෙස පළ කරනවා. ඒ චිත්‍ර අවුරුදු 25ක් තිස්සෙ හැම මාසෙකම ඇන්දෙ මං. ඒ සතුටත් මට හුඟක් දැනෙනවා.
චිත්‍ර ශිල්පය ඔබේ ඇඟට දැනුණෙ....
ඉස්කෝලෙදි. අනුරාධපුර නිවත්තකචේතිය විදුහල මගේ පාසල. ගම්පහ පළාතෙන් මාරුවෙලා ආපු සිරි හේවාආරච්චි ගුරුතුමා තමයි ගම්වල සම්ප්‍රදායික ජීවිතවලට හුරුවෙලා හිටි අපේ සිතිවිලි වෙනස් කළේ. කලා රසය, රසවිඥානය මේ හැම දේම අපි තුළ වැඩෙන්න ගත්තෙ ඉන්පස්සෙ. චිත්‍ර කලාව විතරක් නෙවෙයි, නැටුම - සංගීතය - වේදිකා නාට්‍ය – චිත්‍රපටය , පතපොත කියන කොයි මාධ්‍යයත් අපි රසවිඳින්න ගත්තෙ ඔහුගෙන් ලැබුණු පෝෂණයෙන්. ගමේ පාසලේ මොන සිදුවීම වුණත් එතැන මූලික වෙලා වැඩ කරන තරමට අපි ශක්තිමත් වුණා.
අම්මා - තාත්තා කැමැති වුණාද කලාවත් එක්ක පෑහෙන ඔය ගති පුරුදු වලට...
ඒවා විමසන්න තාත්තා කොයිවෙලාවකවත් ගෙදර හිටියෙ නැහැ. භාෂා කිහිපයක් කතාකිරීමේ හැකියාව තිබුණු තාත්තා බොහෝ විට රැඳුණෙ පිට. ගෙදර ආවේ බොහොම කලාතුරකින්. නමුත් අම්මා පැටව් රකින කිකිළි වගේ අපි හතර පස් දෙනා එක්කම නැහුණා. මං පවුලෙ ලොකු දරුවා. මං කොළඹ යන්න තීරණය කළේ පවුල ගොඩගන්න ඕනෙ කියන සිතිවිල්ලත් එක්කමයි.
ඔබ කොළඹ ආවා...
ඔව්. අවුරුදු18 දි මං චිත්‍ර අඳින රස්සාවකට කොළඹ ආවා. ඒ 1965 අවුරුද්දෙ පත්තරේ තිබුණු දැන්වීමකට. මාත් දැකපු ඒ දැන්වීමට අනුව කොළඹ යන්න මාව උනන්දු කළේ විදුහල්පතිතුමා. එතුමා දැනගෙන හිටියා අපේ අමාරුකම්. එදා තනියම කොළඹ ආපු මම නවාතැන් ගත්තෙ මරදානෙ චොප්පෙගෙ වත්තට අල්ලපු වත්තෙ. වාණිජ චිත්‍ර ශිල්පියෙක් ඉල්ලලා දැන්වීම දැම්මට, ඒක ඉඩම් - දේපළ විකුණන ආයතනයක්. ඕන වෙලා තිබුණෙ ඉඩම් කට්ටිවලට බැනර් ඇඳගන්න කෙනෙක්.
මොකද හිතුණෙ...
ආපහු හැරිල මං අනුරාධපරේ යන්නයැ. නංගිලට සලකන හැටි, අම්මට සැනසීමක් දෙන හැටි කොළඹ එනකල්ම හිත හිත ආව මට ආපහු හැරෙන්න බැහැ. මේ ගමන එන්න අත වියදම් පවා දුන්නෙ චිත්‍ර ගුරුතුමා.
මං හිත හදාගත්තා ඕන දේකට මුහුණ දෙන්න. චිත්‍ර සර් ගෙන් ඉගෙන ගත් බොහෝ දේ ජීවිත පාඩම කරගෙන මං රස්සාව කළා. සර්ගෙන් නිර්ලෝභීව ලැබුණු දැනුමත් මා විසින්ම ගොඩනඟා ගත් ශෛලියත් නිසා මට පුළුවන් වුණා ඒ ජීවිතේට අනුගත වෙන්න. හැබැයි පඩිය රුපියල් හැත්තෑපහයි. මොන දේ වුණත් මගේ හිතේ තිබුණේ චිත්‍ර කතාවක් අඳින්න ඕනෙ කියන ආසාව.
කොහොමද ඒ අරමුණට ගියේ...
ශ්‍රියා රත්නකාර මහත්මියගෙ ‘ශ්‍රී’ සඟරාවෙන්. මං ඇඳපු ‘හොල්මන’ චිත්‍රකතාව ඈ මට පළකරවා දුන්නා. නමුත් ඒ ලේසියෙන් පුවත්පතකට ළං විය නොහැකි කාලයක්. ඊට පස්සෙ ගුණදාස ලියනගේ මහත්මයා ‘රිවිරැස’ පත්තරේ මගේ කතාවක් පළ කරදුන්නා. ඉන්පස්සෙ ‘සිළුමිණ’ටත් චිත්‍ර කතා අඳින්න මට අවස්ථාව උදාවුණා. ඔය අතරේ මං සුදු ජාතිකයන් කළ ජේ.වෝල්ටර් තොම්සන් සමාගමට බැඳුණා. ඒ රු.300 පඩියට. 1969 -71 වෙනකල් හිටියෙ ඒ ආයතනයේ. සුද්දො, ජේ.වෝල්ටර් තොම්සන් එක විකුණල ගියාට පස්සෙ මාත් අයින් වුණා. 1972 මං ඉන්දියාවට ගියා. ඒක ස්ථිර අරමුණක් නැතිව ගිය ගමනක්. එතකොට මෙහෙ විවාහයත් රෙජිස්ටර් කරල.
ජීවිතේ යළි වෙනස් වෙනවා...
ඔව්. මහා දුෂ්කර කාල පරිච්ඡේදයක්. මං ඉන්දියාවෙ දෙමළ පත්තරවලට අඳින්න ගත්තා. පත්තර කන්තෝරු හොයාගෙන ගිහින් මගේ හැකියාවන් කියල වැඩ ඉල්ලුවා. හතර අවුරුද්දක් ඉන්දියාවෙ වැඩ කරල ඊළඟට පකිස්තානෙට පලා ගියා. අවුරුදු දෙකහමාරක් පකිස්තානෙ හොඳම දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් වන ලින්ටාස් ආයතනයෙ චිත්‍ර ශිල්පියෙක් විදියට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. දී.ග. සෝමපාල නම ඒ අයට උච්චාරණය කරගන්න අමාරු නිසා කතෝලික පියතුමෙක් ‘දිගාසෝ’ කියල මගේ නම වෙනස් කලා. හරි ප්‍රතිචාර. කවුද මේ දිගාසෝ කියල. මොකද ‘පිකාසෝ’ නම ළඟින් යන නිසා වෙන්න ඇති. ලින්ටාස් විතරක් නෙවෙයි කතෝලික පුවත්පතකත් මං එහෙදි වැඩකළා.
අපූරු අත්දැකීම්...
ඒත් මහා ‘කට්ටක්’ කන්න වුණා. විවාහෙ රෙජිස්ටර් කරල ආපු මම සෑහෙන කාලයක් ගම රට ආවේ නැති කොට මිනිස්සු නෝනගෙන් අහන්න අරන් මහත්තයා දාලා ගිහින්ද කියල. ඒ පාර මං එයාවත් ගෙන්වා ගත්තා. මං ආපහු එනකොට තාත්තා මියගිහින් වළලලාත් සෑහෙන කල්. කොහොම හරි 1981 මං ආපහු ලංකාවට එනකොට චතුරව දෙමළ කතාකරන්න පුළුවන්. ඉන්දියාවෙදි මට දෙමළ ඉගෙන ගන්නම වුණා. මං මගේම ප්‍රචාරණ දැන්වීම් ආයතනයක් පටන් ගත්තා ’First and Forward’ කියල. එතැන ඉඳන් මං දවසින් දවස දියුණු වුණා. අම්මලට – නංගිලට සැලකුවා.
ඉන්දියාවෙ ගතකළ කාලය ඔබේ චිත්‍ර කලා ජීවිතයට විශාල බලපෑමක් කරන්න ඇති...
ඇත්තටම. අජන්තා, වෙල්ලෝර් ආභාසයෙන් මගේ චිත්‍ර ක්‍රමයට යම් යම් දේ එකතු වුණා. මා භාවිත කළ රේඛා - වර්ණ සංකලනය තුළ විශාල නැම්මක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි, එම්.සාර්ලිස් මාස්ටර්, සුසිල් ප්‍රේමරත්න, ජී.ඇස්.ප්‍රනාන්දු, ජී.එල්.ගෞතමදාස, ඩැනී විමලසිරි, මොටාගෙදර වනිගරත්න, ජයසිරි සේමගේ, බන්දුල හරිශ්චන්ද්‍ර, පී.වික්‍රමනායක කියන ලාංකේය චිත්‍ර කලාවේ දැවැන්තයින් මගේ රස භාවයන් හා රස විඥානය පෝෂණය කළ ශිල්පීන්. මේ හැම ශිල්පියකුගේම විශේෂ ප්‍රයෝග, භාව ක්‍රම මගේ ස්වයං අධ්‍යයනයට විශාල ලෙස බලපෑවා. අද මගේ වයස 65යි. නමුත් මං අදත් යම් යම් ක්‍රමවේද අත්හදා බලනවා. ඉගෙන ගන්නවා.
ඔබ ටෙලි නාට්‍ය කලාවෙත් නමක් තැබුවා...
කොන්ත්‍රාත්තුව, හිම කැටයම්, සුවඳ හමන මනමාලි, රිදී ඉට්ටංකරය, කියන සම්මානනීය වූ සහ ප්‍රේක්ෂකයන්ට මතක හිටින ටෙලි නාට්‍ය කිහිපයක් මං අධ්‍යක්ෂණය කළා කියන සතුට තියෙනවා. හොඳ තිර රචනා ලැබෙනවා නම් රූප - ශබ්ද මාධ්‍යයේ හොඳ නිර්මාණ කරන්න පුළුවන්.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money