Sunday, October 23, 2011

මට යමක් හිතුණොත් ඒක කොහොම හරි කරනවා

මනීෂා නාමල්ගම

වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක, වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා නිළියක ලෙස ඇගේ රංගන දිවිය ඈතට දිවයන්නක්. දැනට දශක එක හමාරකට ප්‍රථම කලා ලොවට පිවිසි මේ රුවැත්තිය මනීෂා ශ්‍යාමලී නාමල්ගම. මනීෂා මේ දිනවල පේ‍්‍රක්ෂකයන්ගේ කතාබහට, ආකර්ෂණයට ලක්වන චරිතාංග නිළියක් බවට පත්ව තිබෙනවා. ඇයගේ විවිධ රංගන ඇතුළත් ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දිනවල රූපවාහිනී නාලිකා කිහිපයක් ඔස්සේම විකාශනය වෙනවා. එනිසාම ඇය තමාගේ නවතම කලා තොරතුරු පිළිබඳ හෘදයාංගම කතාබහකට මා සමඟ එක්වුණා. ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංග දිග හැරෙන්නේ ඒ කතාබහ වෙනුවෙන්.



මේ දවස්වල මනීෂාගේ රඟපෑම් රසිකයන් අතර වඩ වඩාත් කතාබහට ලක්වෙනවා නේද?
මේ දවස්වල මම රඟපාන ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. ‘සිරි වාසල’ ටෙලි නාට්‍යයටත් ‘බාගෙට නෑදෑයෝ’ ටෙලි නාට්‍යයටත් මම රංගනයෙන් දායක වෙනවා. ඒ නිසා මේ දවස්වල පේ‍්‍රක්ෂකයන් මා ගැන වැඩියෙන් කතාබහ කරන බව දන්නවා. ඉදිරියේදීත් ටෙලි නාට්‍ය කීපයකටම දායක වෙන්න බලාපොරොත්තුව ඉන්නවා.
ඔබ රඟපාන බොහෝ චරිත එක රාමුවකට කොටුවෙලා ද?
මෙහෙමයි. මට ලැබුණු චරිත ගත්තොත් බොහොමයක් ඒවා එකිනෙකට වෙනස් චරිත කියල කියන්න පුළුවන්. කලාතුරකින් තමයි සමාන චරිතයක් ලැබුණොත් ලැබෙන්නේ.
ඔබේ නිර්මාණ ජීවිතේ ආරම්භය වේදිකාව ද?
පාසල් වේදිකාව. එතැනින් පසු මම ටෙලි නාට්‍ය රංගනයට පිවිසුණා. පාසල් කාලයේ මට අවුරුදු 6 ඉඳලම මම නැටුම් ගැයුම්වලට දක්ෂයි. අපේ පාසලේ තමයි ‘ගොළු හදවත’ ටෙලි නාට්‍යය රූගත කළේ. එතැනදී මට එයට දායක වෙන්නට අවස්ථාව හිමි වුණත් මගේ පවුලේ අයගේ අකැමැත්ත සහ ඒ වන විට මම සමස්ත ලංකා ක්‍රීඩා තරගවලට යොමු වී සිටි නිසා ඒ අවස්ථාව මගෙන් ගිලිහී ගියා. ඒත් උසස් පෙළින් අනතුරුව මම මෝස්තර නිරූපණ පාඨමාලාවකට යොමු වුණා. අනතුරුව ටෙලි නාට්‍ය කලාවට අවතීර්ණ වුණා. අද වෙනකොට මම ටෙලි නාට්‍ය කලාවේ හා සිනමාවේ බොහෝ දුරක් පැමිණ තිබෙනවා කියා හිතනවා.
ඔබ ඔබේ රුව ගැන හුඟාක් සැලකිලිමත් වෙනවා නේද?
ඇත්තටම රුව පවත්වාගෙන යන්න කියල මහා ලොකු විශේෂ දේවල් මම කරන්නෙ නැහැ. මට උපතින්ම හොඳ රූපයක් තිබුණා. මිනිසුන්ට දැක්කහම පි‍්‍රයමනාප වන දේහ ලක්ෂණ මා සතුව තිබුණා. උපතින්ම හොඳ රුවක් දෙවියන් මට දීලා තිබෙනවා. ඒ නිසා ඒ ගැන සතුටුයි. අනෙක මම විශ්වාස කරන දෙයක් තමයි අපේ හිත සතුටින් තිබෙන්න ඕන කියන දෙය. අපි ළඟ හොඳ මානුෂිය ගුණාංග තිබුණොත් අනිවාර්යයෙන්ම අපේ රූපය ලස්සන වෙනවා.
ඔබේ සැමියාත් කලා ලොවේ ජනපි‍්‍රය පුද්ගලයෙක්. සරත් නාමල්ගම. ඔබ දෙපළගේ හමුවීම සිදුවුණේ කොහොම ද?
අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු නමයක්. ඔහුව මුණගැහුණේ අහම්බෙන්. කවදාවත් හිතේ හිටපු, හිතපු කෙනෙක් නෙමෙයි. අහම්බෙන් මුණ ගැහිලා සීමිත කාලයක් ඇසුරු කරලා අපි විවාහ වුණා. ඇත්තටම අද ඔහු මගේ පිටුපස ඉඳගෙන මගේ කලා ජීවිතයට අත්වැලක් වෙලා ඉන්නවා. යා යුතු හරිමඟ පෙන්වනවා. අපි දෙන්නා බොහොම හෙමින් බොහොම සංයමයෙන් සහයෝගයෙන් ජීවිතය ගෙන යනවා.
ඔබ ජීවිතය ගැන හිතන්නෙ මොන විදිහට ද?
මම ජීවිතය ගැන බොහොම සුබවාදීව දකින කෙනෙක්. ජීවිතේ දිහා බොහොම සාධාරණව බලමින් මගේ පසුපසින් ඉන්න අයට යුතුකම් සහ වගකීම් මට හැකි උපරීමයෙන් ඉෂ්ට සිද්ධ කරමින් තමයි මම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ.
කලා ජීවිතේත් පෞද්ගලික ජීවිතේත් සමබරව පවත්වාගෙන යන්නට ඔබ සමත් වී තිබෙනවා ද?
මම කවදත් ජීවිතේ පිළිවෙළට වැඩ කරපු කෙනෙක්. කලා ජීවිතේ වේවා පෞද්ගලික ජීවිතේ වේවා කාල සටහනකට අනුව මා කළ යුතු වැඩ ඉලක්කයකට කළ කෙනෙක්. ඒ ඉලක්කය පසුපස තමයි මගේ ජීවිතේ ඉදිරියට යන්නෙ. මට හිතුණොත් දෙයක් කරන්න ඕනෙ කියලා මම ඒක කොහොම හරි කරනවා. මම හරි ධෛර්යවන්තයි. කිසිම අභියෝගයකට බය නැහැ.
ඒ කියන්නෙ ඔබ පරාජය වෙන්න කැමැති නැහැ කියල ද?
පරාජය කියන දේත් මට හොඳට පුරුදුයි. ජය පරාජය දෙකම අපට උරුමයි. හැම තිස්සෙම ජය සතුට විතරක් අපිට ලැබෙන්නෙ නැහැ. බුදුන්ගේ අටලෝ දහම අපිට හැමදාමත් උරුමයි. මම දුක කියන දේ මේ ජීවිතේ ඕන තරම් අත් විඳලා තියෙනවා. රංගන ශිල්පීන් විදිහට අපේ මුහුණෙන් ශරීරයෙන් පෙනෙන සුන්දරත්වයට වැඩි ගැඹුරු දේවල් අපේ ජීවිත තුළ තිබෙනවා. ඒ හැම දේම අපිට ලෝකෙට කියන්න බැහැ. දුක සැප දෙකම දරාගෙන බොහොම ඉවසීමෙන් බොහොම අමාරුවෙන් ජීවිතය ඉදිරියට ගෙන යනවා.
කලා ක්ෂේත්‍රයේ ඇතිවන කටකතා ගැන ඔබ මොකද හිතන්නෙ?
වාසනාවකට අද මේ ක්ෂේත්‍රයේ හැදෙන කටකතා මං දන්න තරමින් මට නම් හැදිල නැහැ. මං ගැන කිසිම කටකතාවක් මට ඇහිලත් නැහැ. මම හිතන විදිහට යමක් නිවැරැදිව පිළිවෙළට කරන මිනිස්සුන්ට තමයි මොනව හරි කට කතාවක් ගොතන්න උත්සාහ කරන්නෙ. මම නම් කටකතා ගැන එච්චර හිතන්නෙත් නැහැ. දුක් වෙන්නෙත් නැහැ.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවා ද?
මගේ හිතේ කාලෙක පටන් තියෙන දෙයක් තමයි මගේ ජීවිත කතාව ලියන්න ඕන කියන දේ. මොකද අපේ ජීවිතවලින් අද කාලේ කාන්තාවන්ට, දැරියන්ට යමක් ගන්න පුළුවන් කියලා හිතෙනවා. ජීවිතේ තේරුම් ගන්න, ආදර්ශවත් වෙන්න ඔවුන්ට ඒ ඔස්සේ යමක් පෙන්වා දෙන්න පුළුවන් කියා හිතනවා. ඒ නිසා මම මගේ ජීවිත කතාව ලියන්න බලාපොරොත්තු වෙනවා
.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money