Wednesday, October 26, 2011

බෝල සබන් ඇඟ ගාලා හායි හායි...

බණ්ඩාරවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ ලෝක ගෝලයක් තිබුණේ නැතුවාය. ඒක හින්දා භූගෝල පාඩමේදී ලෝකය ගෝලයක් යැයි කියන්නට ටීචර් වොලිබෝලයක් ගෙන එන්ට යෙදුණාය.
ඒ කාලයේ බණ්ඩාරවත්ත පාසල වොලිබෝල් වලට බොහෝම පොරසිද්ධ වෙලා හිටියාය. ගම්පහ සිරිවර්ධනගේ මල්ලී පියරත්න හිටියේ ද බණ්ඩාරවත්ත පාසලේ ය. පස්සෙ කාලෙක ශ්‍රී ලංකා නායකයා බවට ද පත්වෙන්ට යෙදුණාය.
ඉතින් ටීචර් වොලිබෝලය අල්ල උඩ කරකවමින් ලෝකය ගෝලයක් යැයි අපට කියාදෙන්නට පුදුම මහන්සියක් ගත්තාය.
ඒ වුණාට කොල්ලො කිව්වේ ලෝකය බෝලයක් වගේ කියලාය. ඒකට සිංදුවකුත් හැදුවාය.
”ලෝකෙ බෝලයක් වගේලු” ඔන්න ඔහොම කියන්ට යෙදුණාය.
”ලෝක බෝල” සිංදුවේ කෑලි අල්ලන්ඩ බැරිවුණාට ඒ කාලයේ ඉඳලා වොලිබෝලය හොඳට අල්ලන්ට පුළුවන් කම තිබුණාය. පස්ස කාලෙක රූපවාහිනියේ වොලිබෝල් විස්තර විචාරකයෙක් දක්වාම ආවේ ඒ පුරුද්ද හින්දා බව කියන්ට වෙනවාය.
ඒත් පස්සෙ කාලෙක ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී හමුවුණු අබේසේකරට ෆුට්බෝල් වොලිබෝල් එච්චර අල්ලන්නේ නැතුවාය. ඔහු ඒ දවස්වල ඉඳලාම ප්‍රියකෙරුවේ පස්සෙම පේළියට වී ඩැස්වලට තට්ටු කරමින් සිංදුවල කෑලි ඇල්ලීමටය.
අනේ ඔහු මෙලොවින් සමුගත් බව පසු කාලයකදී අසන්ට ලැබුණාය. ඔහුගේ වචන මට මේ දැනුත් මතක් වෙනවාය.
”කාටද බං හමකට හුළං ගහලා ඔච්චර දඩි ගහන්ඩ පුළුවන්”
ඒක අබේසේකරගේ කටේ ඒ දවස්වල තිබුණු බෝම ජනප්‍රිය කියමනක්ය. අනෙක් පැත්තේ ලකියා කැමැත්ත දැක්වූයේ ෆුට් බෝලයටය. අබේසේකර අර වචන කිව්වේ අප දෙන්නාට ම ය. මම වොලිබෝලයට අමතරව ක්‍රිකට් බෝලයටත් කැමැත්ත දුන්නෙමිය. ඒක හින්දා විදුහල් කණ්ඩායමටත් සෙල්ලම් කරන්ඩ ඉඩක් ලැබුණාය. ඒ බෝල යවන්නෙක් හැටියට නෙමේය. බෝලෙට ගහන්නෙක් හැටියටය.
අබේසේකර කියන්නේ ඔය කොයි බෝලවලටත් වඩා කැන්ටිමේ සම්බෝලය හොඳ බවය. ඒ කාලයේ කැන්ටිමේ පාන් කාලකුයි සම්බෝල පීරිසියකුයි සත දහයක්ය. ඒක එහෙමම ගිලලා පයිප්පෙට කට තියාන වතුර බිව්වා නම් ආමාශය ෆුල්ය. උණ්ඩුක පුච්ඡය ද ෆුල්ය. මහ බඩවැල මෙන්ම කුඩා බඩවැල ද දිග හැරෙනවාය.
ඒ වුණාට අම්මලා හදන සම්බෝලයට ගහන්ට සම්බෝලයක් නැත. ඒක රන්වන් පාටය. කෑලි මිරිස් කියලා ජාතියක් ඒ කාලයේ තිබුණේ නැති නමුත් මිරිස් ලූනු, ලුණු ගලේ අඹරලා අන්තිමට පොල් ටික දාලා අඹරන කොට එන සුවඳ දැනුත් දැනෙනවා දැනෙනවා වාගේය. ඕකට ඉතින් යහමින් දෙහි ඇඹුල් ටිකක් දාලා අනලා ගත්තාම කියලා වැඩක් නැතුවාය. පාන් කාලක් නෙමේය. බත් පලඟානක් ගිලින්ට පුළුවන්ය.
සම්බෝලත් එක්ක බත් කාලා බෝල සයිස් එකට හැදුණාම කොල්ලො කියන්නේ ජම්බෝලයා කියලාය. එහෙම ජම්බෝලයෙක් අපේ පන්තියේද සිටින්ට යෙදුණාය. දුවන්ට එහෙම බැරුවාය. කන්ට එහෙම පුළුවන්ය. වැඩත් පුළුවන්ය. විබාග පාස් වෙනවාය. පාස්වෙලා පාස්වෙලා ගිහිල්ලා පස්සේ ඉන්ජිනේරු මහත්තැන් කෙනෙක් වුණාය. දැන් නම් ඒ ජම්බෝල ගතිය නැතුවාය. පහුගිය දොහක හම්බවෙලා කතා කොරන විට මට මතක් වෙලා හිනාත් යන්ට යෙදුණාය.
ජම්බෝල හොඳ බෝල වර්ගයකි. ඒ වුණාට දැන් ළමයින්ට දෙන්නේ නැතුවාය. බඩේ අමාරුව හැදෙනවා කියලා වෙන්ට ඇතිය. ඒ දැන් අම්මලාගේ හැටිය. අපේ අම්මලා නම් ඕන බඩකඩුත්තුවක් කන්ට දෙන්ට යෙදුණාය. ඉහෙන් බහින ලෙඩක් හැදුණේ නැතුවාය.
පීටර් මාමා නැවිකෙට් එකක් බොමින් දුම්බෝල අරිනවාය. දැන් නම් නැවිකෙට් නැතුවාය. මතට තිත හින්දා විස්තර කියන්ට හොඳ නැතුවාය. මේ ටිකත් කිව්වේ දුම්බෝල කියලා ජාතියක් ද තිබුණා කියලා කියන්ටය.
ටැනිස් බෝලයෙන් හරි ක්‍රිකට් ගැහිල්ල හැමතැනම තිබුණාට ජිල්බෝල ගැහිල්ල දැන් ඒ තරමට නැත. අපේ කාලයේ නම් ජිල්බෝල ගැහිල්ල වැහි වැහිලාය. ටීක් බෝල ගැහිල්ල කියලාත් කියනවාය. අපේ කාලයේ ජිල් බෝලයක් සතයකි. ලස්සන ලස්සන පාට පාට ජිල් බෝල තියෙන්ට යෙදුණාය.
නතිං, නොපුලං පුලං, රෝඩ්, නෝ රෝඩ්, කිරියෙල් නෝ කිරියෙල් කියලා වචන සැට් එකක් ද ජිල්බෝල සෙල්ලමත් එක්ක තිබුණා මතක තියෙනවාය. ඒවායේ තේරුම ලියන්ට ගියොත් හුඟාක් ඉඩ යනවාය. පරණ ජිල්බෝලකාරයෙකුගෙන් අහලා දැනගන්ට වටිනවාය.
හැබැයි ඒ කාලයේ අම්මලා තාත්තලා මේ සෙල්ලමට එච්චර කැමැත්තක් නැතුවාය. කාසි පනම් සම්බන්ධ වෙන හින්දා වෙන්ට ඇතිය. ඒ කියන්නේ ජිල්බෝල පැරදුණාම කොල්ලො ගිහිල්ලා කඩෙන් ජිල්බෝල ගන්නවාය. ඒක හින්දා ගෙවල්වලින් සල්ලි හොරකම් කරන්ටත් පුරුදු වෙනවාය. ඉතින් ජිල් ගහන්ට ගිහිල්ලා හොඳටෝම ගුටිකනවාය. මමත් ඒ වැඩේට ගිහිල්ලා නම් කීප දවසක්ම අම්මාගෙන් කෝටු පාර කා ඇත්තෙමිය.
දැන් ගෙවල්වල ජිල් බෝලත් නැතුවාය. බෝල අත්තත් නැතුවාය. බෝල අත්ත කියන්නේ ජිල් බෝල ගැහිල්ලට සම්බන්ධ දෙයක් නම් නෙමේය. ඊට වඩා බොහෝම වැදගත් උපකරණයක් ය. කමතේ ගොයම් පාගා අහවර වෙලා මැඩුවන් අවුස්සලා බැත වෙන්කරගෙන මැඩුවන් ටික වෙනම කන්දක් ගහනවාය. ඒකට උපකාර කරන්නේ දැති ගොයියාය..
දැතිගොයියා ගමේ ගොයියාගේ මිත්‍රයෙක්ය. වැඩි විස්තර පරණ ගොයියෙකුගෙන් අහලා දැනගන්ටය. ඊට පස්සේ කමත පුරාම විසිරිලා තියෙන බැත එක ගොඩකට ගසන්නේ බෝල අත්තේ ආධාරයෙන්ය. එය කොස්සක කාර්යභාරය ඉටුකරනවා කියලා කිව්වොත් එහෙම හිතාගත්තාට වැරැද්දක් නැතුවාය.
හැබැයි බෝල අත්ත හදාගන්නේ කොහු කෙඳිවලින් නෙමේය. එක්කෝ පඹ වැල්, කොරකහ ඉපල් ආදී දේ පටලවා ගැනීමෙන්ය. මේ ගැනත් අසා දැනගැනීම වටිනවාය.
ඒ වුණාට බෝල කූඩු කියන්නේ කමිස එල්ලන එකක්ය. හැබැයි කමතේ නෙමේය. ගෙදර කාමරයේය.
බෝල් පොයින්ට් කියන්නේ බෝලයක තියෙන පොයින්ට් එකට නෙමේය. පොයින්ට් එකේ බෝලයක් තියෙන කොටය. මං මේ ලියන්නේ ද බෝල් පොයින්ට් පෑනකින්ය. පාකර් පෑන්වලින් ලිව්වේ ඉස්සර වැදගත් මහත්තැන්ලාය. දැන් මොන වැදගත් මහත්තැන්ලාත් ලියන්නේ බෝල් පොයින්ට්වලින් තමාය.
ඇමැති ගොල්ලොත්, ජනාධිපතිතුමා ඉස්සරහ අස්සම තියන්නේ ද බෝල් පොයින්ට්වලින් බව ඉඳහිට දකින්ට ලැබෙනවාය. එහෙම බලපුවාම පෑනේ බෝලෙට වැදගත් තැනක මුල්තැන ලැබෙනවාය.
බෝල් ලී කියලා ජාතියක් ද තියෙනවාය. හැබැයි මේවා කොස්, බුරුත, තේක්ක වාගේ ලී ජාතියක් නෙමේය. ඒ වුණාට ලීවලින් හදන එකක් තමාය. ගොනා කරත්තයට තබා බඳින්නේ බෝල් ලීයේය. මේකට බෝන් ලීය කියලාත් තියෙනවාය. දෙකම හරි කියලා දැනගන්ට වටිනවාය. ඒක හින්දා ඔය කවුරු කවුරුත් මොන ලීය ළඟට ගියත් බෝල් ලීය ළඟට එහෙම වැඩිපුර ළං වෙන්ට එපාය.
හැමෝටම නොවුණත් මේක සමහර අයට දෙන අවවාදයක් කියලා හිතන්ට ඕනෑය. මනාප ඉල්ලලා ලක්ෂ කෝටි ගණං නැති නාස්ති කොරාපු අය බෝල් ලී ගාවට නම් යන්ටම එපාය. ඔන්න කිව්වාය.
අනේ ඉතින් බෝල් ලීයකට කර ගහලා සක්ක ගල් ඇද්දා නම් මීට හොඳයි කියලා හිතෙනවා ඇති නේද කියලා අහන්ටත් හිතෙනවාය. අනේ ඉතින් මොකටද කියලත් පස්සේ හිතෙනවාය.
බෝල්ලු උයලා බෝල මිරිස් එක්ක සම්බෝලයක් හදලා බල්ලන්ට කපුටන්ට දානයක් දුන්නා නම් ලබන ආත්මයේ මේවගෙ මෝඩකම් නොකරන්ට තරමට මොළේ කළඳක්වත් පෑදෙනවා නේද කියලාත් හිතෙන්ට පුළුවන්ය. මොනවා වුණත් ටික දවසක් යන කල් බෝල් ලී ගාවට නම් යන්ට එපාය. කයිතන් ගොයියලා බඳින එක බඳිනවාමය.
හැබැයි වැඩි වියදමක් නැතුව මනාප තුන්හාරසීයක් අරගෙන ගොඩ ගිය අය ගොඩය. ඒ අයට කෙවිටක් දීලා අරගොල්ලන්ව දක්කන්නට කිව්වා නම් මල් හතය.
බෝලවත්තේ නැන්දා හදිස්සියෙන්ම අපේ ගෙදර ආවේය. නැන්දාගේ දුව බෝලවලානේ ගුරු විද්‍යාලයට සාමාර්ථ වෙලාය. (අපෙ අප්පෝ කෙලීගෙ මූණෙ තියෙන ආඩම්බර පොඩ්ඩ)
බෝල සබන් ගාලා වාගේ සුවඳේ බැරුවාය. බෝලවලාන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේම ඒ ගුරු විද්‍යාල හින්දාය. දැන් නම් ඒක තියෙනවාද නැද්ද කියලාවත් සද්දයක් බද්දයක් නැතුවාය. බෝලවලාන තියෙන්නේ මීගමුව පැත්තේය. බෝලවත්ත තියෙන්නේ ද ඔය මීගමුව පැත්තේමයි කියලා මගේ මතකයක් තියෙනවාය. වැරදි නම් නිවැරදි කරලා දැනගන්ට වටිනවාය.
ඒ කාලයේ බෝල සබන් කියලා ජාතියක් තිබුණේය. ඒවා තිබුණේ පෙට්ටිවල නෙමේය. උල්වල ගහලාය. කටු අන්නාසි පොකුරක් වාගේය. මෙහෙම කිව්වාට කටුඅන්නාසි පොකුරු දැකලා නැති අය අන්දමන්ද වෙන බව දන්නවාය. හතර අතට උල් කටු තියෙන දණ්ඩක මේ බෝල ගහලා තියෙනවාය. එකක් ඉල්ලපුවාම ගලවලා කඩදාසියක ඔතලා දෙනවාය. සුවඳ කොහොමද කියලා ගාලා තියෙන කෙනෙකුගෙන් අසා දැනගන්ටය.
හරියටම බෝල හැඩය නැති ඒවාට කියන්නේ ගුලි කියලාය. අග්ගලා ගුලිය. අග්ගලා බෝල නෙමේය. ගෙවල් හදන්නේ මැටි ගුලිවලින්ය. මැටි බෝල වලින් නෙමේය. ඒ වුණාට මෙහෙම සිංදුවක් තියෙනවාය.
”බෝල බෝල මැටි එක එක ගෙනෙනවා
ගුවන් යානයක් වාගේ පියඹන්...”
කුඹලා ගෙවල් හදන්නේ මැටි බෝල වලින්ය. මිනිස්සු ගෙවල් හදන්නේ මැටිගුලිවලින්ය. සමහර විට කුඹලාගේ ගුලිය මිනිසුන්ගේ ගුලියට වඩා බෝල හැඩයට සමාන හින්දා වෙන්ට පුළුවන්ය. පෙරහරේ තියෙන්නේත් ගිනි බෝලය. සමාජයේ තියෙන්නෙත් ගිනිබෝල තමාය. කතා කළොත් පළාතක්ම ඉවරය.
නෙට් බෝල්වල කරන්නේ බෝලය පාස් කරන එකය. රගර්වලදී බෝලයක් අරගෙන දුවයි. හැබැයි රගර් බෝලයේ බෝල හැඩයක් නැත. වොලිබෝලය එහා පැත්තේ බිම වැදෙන්නට ගහන්ට වුවමනා කොරනවාය.
ෆුට් බෝලවලදී බෝලයට කකුලෙන් ගසා ගෝලය ඇතුළෙ රිංගවිය යුතු බව නොදන්නා කෙනෙක් නැති තරම්ය.
නෙට් බෝල්වලදී මෙන්ම බාස්කට්වලදීද වළල්ලෙන් බෝල බැස්ස විය යුතුය. හොඳ බැස්සිලි කාරයෝ සහ කාරියෝ ලෝකය පුරාම සිටිනවාය.
ඒ වුණාට හොඳ බෝල බැස්සිලි කාරයෝ සහ කාරියෝ ඉන්නේ දේශපාලන ගේම් එකේය. මේ අයට බෝල බස්සන්ඩ විතරක් නෙමේය. බෝල ගිල්ලවන්ඩත් පුළුවන්ය. ගිල්ලෙව්වොත් දිරවනවා බොරුය. එළියට ගන්ඩ බෝල සබන් ගිල්ලෝලවාත් බැරුවාය.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money