දරුවන් ගෙල කපා මරා දමන, දරුවන් මහ මග දමා යන, දරුවන් ගඟට වීසි කරන මෙහෙව් ලෝකයක ඊට ආසන්නතම තවත් සිදුවීමක් පසුගියදා මාරවිල මුට්ටිබැඳිවිල ප්‍රදේශයෙන් වාර්තා වූයේ කාගේත් දෙනෙත්වලට කඳුළු නංවමිනි.
ඇය නමින් තනුජාය. නාත්තණ්ඩිය පැත්තේ කණිෂ්ඨ විද්‍යාලයක ඇය ඉගෙනුම ලැබුවේ තුන්වන වසෙර්ය.
ඉකුත් 14 වැනිදා සුපුරුදු පරිදි පාසල වෙත ගොස් යළි ගෙදරට පැමිණි ඇයට නිවසේ ඔවුන් සමඟ ජීවත් වූ බාප්පා (සුළු පියා) යයි කියන පුද්ගලයකු විසින් අමානුෂික ලෙස පහර දී ඇත.
ඒ ඇය දවාලට කන්නට බත් පිඟාන අතට ගත් මොහොතේය. පුංචි තනුජාට පහර දෙන්න බාප්පා උත්සුක වූයේ රුපියල් පනහක මුදලක් නැති වී ඇති වූ හෙයිනි.
‘උඹ ඇයි මගේ සාක්කුවෙන් සල්ලි ගත්තේ. .’ කියමින් පහරදුන් ඔහු ඉන් පසුව ඇයට කොහු ලණුවලින් ගසක බැඳ අත් පා වලට හා පිටට අමානුෂික ලෙස පහරදී ඇත.
‘අනේ. . . බාප්පේ මම ගත්තේ නැහැ. . . මට ගහන්න එපා. . . . මම මැරෙයි. . .’ චූටි දියණිය වේදනාව ඉවසාගත නොහැකිව හඬා වැළපෙමින් කෝටු පහරින් බේරෙන්නට උත්සාහ දැරුව ද ඉන් ඵලක් නොවූවාය. කෝටුව කැඩෙන තුරු දැරියට පහර දුන් ඔහු ඉන් පසුව තවත් කෝටුවක් ගෙන යළි යළිත් පහර දී තිබේ. එලෙස කෝ්ටු හයකින්ම ඔහු පහරදී ඇත. කෑ ගැසීම නතර කිරීමට දැරියගේ මුව රෙදි කැබැල්ලකින් බැඳ ඇත.
‘මෙයාව ගහෙන් ලිහන්න එපා’ බාප්පා ඉන් පසු ඇගේ් මවට ද තර්ජනය කොට තිබේ. ඒ වන විට වේලාව සවස දෙකට පමණ ඇත.
බාප්පාට බියෙන් ඇගේ මව ද සිය දියණිය ගහෙන් ලෙහන්නට උත්සාහ දරා නැත.
මෙය දුටු බාප්පා කියන අය ඇයට ද පහර දෙන්නට වී ඇති අතර ඇය අසල කැලයට ගොස් සැඟවී ඇත.
තවත් බලා සිටිය නොහැකි වූ ඇය දුවට මෙන්ම තමාට ද පහර දුන් බාප්පා කියන තැනැත්තාට හොරෙන් වෙනත් ගෙදරකට දුරකථන ඇමතුමක් දී තිබේ. ඉන් අනතුරුව මේ බව මාරවිල පොලිසියට දැනුම්දීමත් සමඟ පොලිස් නිලධාරීන් පැමිණ ඇත.
තනුජාගේ අම්මා පොළොන්නරුවේ පදිංචි අයෙකි. මීට වසර හයකට පමණ පෙර යටකලාන ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත. දැරියගේ පියා වෙනත් විවාහයක් කර ගෙන ඇති අතර ඉන් පසුව දැරියට සිදුව ඇත්තේ බාප්පාගේ අනේක කරදර හිරිහැර ඉවසීම ය.
දැරියගේ මව ඇයගේ සැමියාගෙන් වෙන් වී බාප්පා යැයි පවසන පුද්ගලයා සමඟ මීට වසර එකහමාරකට පමණ පෙර මුට්ටිබැදිවිල ප්‍රදේශයේ වත්තක සේවය කිරීමට පැමිණ තිබේ. දැරියගේ් මවට හා බාප්පා යැයි කියන පුද්ගලයාට වයස මාස දෙකක වියැති සිඟිති දරුවෙක් සිටී. පහරකෑමට ලක්වූ දැරියට බාප්පා මීට කලින් අවස්ථාවලදී ද පහරදී ඇති බවත්, පරුෂ වචනයෙන් බැන වදින බවත් අසල්වාසීහු ද පැවසූහ.
‘මට මේ දුවගෙ අම්මා දුරකථන පණිවුඩයක් දුන්නා ළමයාට ගස් බැඳලා ගහනවා කියලා. පස්සෙ එතැනට ගියා බලන්න. මම ළමයා ඔසවලා පුටුවක් උඩ තිබ්බා. ඒ වෙන කොට ළමයට ඇවිදින්න වත් බෑ. ළමයා උස්සද්දි කෑ ගහනවා. අත පය තැලිලා, නිල් පාට වෙලා. ඇඳේ ඉන්නෙත් නෑ. පිට තියන්න බෑ කියලා කෑ ගහනවා. ආයෙත් මේ ළමයට ගහන්න තැනක් ඉතිරි වෙලා තියෙනවද . . . දෙයියනේ මේ විදිහට තිරිසනෙක්වත් ගහන්නෙ නෑ. අත් දෙක උස්සන්න බෑ පිට්ටු ගෙඩි වාගේ ඉදි මිලා. අම්මා මට කෝල් කරපු වෙලාවේ රුපියල් දාහක් දෙන්න කියලත් ඉල්ලුවා. පොලිසිය ඇවිත් එතැනට යද්දි බාප්පා බෑග් ලෑස්ති කරගෙන පැනල යන්න හදනවා’.
මෙහිදී අදහස් දැක්වූ යටගලාන විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ කියා සිටියේ, ‘සිද්ධිය මට කිව්වේ ගමේ අය. මම යන කොට ළඟ ගෙදරක ළමයා අ¾ඩමින් ඉන්නවා. කකුල් වල හා අත්වල තැලීම්, ඇගේ හැම තැනම තුවාල. කකුල් දෙක වාරු නෑ ඇවිදින්න. වෙන කෙනෙකුගෙ උදව්වෙන් තමයි යන්නෙ’.
මෙසේ අමානුෂික ලෙස පහරදුන් බව කියන ඇල්පිටිගේ කපිල කුමාර (33) යන පුද්ගලයා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චන්දන කලන්සූරිය මහතා නියෝග කළේය.
පහර කෑමට ලක් වූ දැරිය මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් පෙරේරා මහතාගේ උපදෙස් මත පොලිස් පරීකෂක අයිවන් පෙරේරා, සැරයන් කුමාරසිරි, කාන්තා පොලිස් කොස්තාපල් චාන්දනී හා ප්‍රියදර්ශනී යන අය පරීක්ෂණ සිදු කළහ.
0 comments:
Post a Comment