Saturday, October 8, 2011

කිසිකෙනෙක්‌ මගේ අත්දැකීම් බෙදාගන්න කතාකරල නැහැ

කිසිකෙනෙක්‌ මගේ අත්දැකීම් බෙදාගන්න කතාකරල නැහැ
නිල්මිණි

ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක්‌. එපමණක්‌ නොවෙයි ඇය ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක්‌. රූපලාවන්‍ය ශිල්පිනියක යන භූමිකාව අප ටිකකට අමතක කොට රංගන ශිල්පිනියක ලෙස ක්‌ෂේත්‍රයේ ලබා ඇති අත්දැකීම් සමඟ ඇයත් සමඟ කතා බහ කළා.

වර්තමාන ටෙලි නාට්‍යය කලාව ගැන ඔබේ අදහස්‌ කුමක්‌ද?

ඇත්තටම අද නිෂ්පාදනය වන හා විකාශය වන බහුතරයක්‌ ටෙලි නිර්මාණ ගැන මට පැහැදිලි චිත්‍රයක්‌ නැහැ. අද ටෙලිනාට්‍යය කියන්නේ තනිකරම ව්‍යාපාරයක්‌. මිනිස්‌සුන්ට වෙළෙඳ දැන්වීම් නරඹන අතරෙයි ටෙලි නාට්‍යය බලන්න වෙලා තියෙන්නේ. අඩුම ගානේ අද රඟපාන නළු නිළියන්ගේ නමවත් නොදායි ටෙලිනාට්‍යය සමහර නාලිකාවල පටන් ගන්නේ. නිර්මාණයකට දායක වුණ කෙනෙකුට නම කොයිතරම් වටිනවාද? සියල්ල මුදලට යටවුණ සමාජයක ටෙලි නාට්‍යය කලාවටත් ඒකම තමයි වෙලා තියෙන්නේ.

ඔබ බොහෝ විට රඟපාන්නේ දුක්‌බර චරිත. එයට විශේෂ හේතුවක්‌ තිබෙනවාද?

දුක්‌ නොවිඳින කාන්තාවන් මේ සමාජයේ ඉන්නවාද? මම පොළොවේ පය ගහලා ඉන්න රංගන ශිල්පිනියක්‌. මට විවිධ ගැටලුවලට මුහුණ දුන් කාන්තාවන් මුණගැහෙනවා. ඒ අත්දැකීම් නිසාමයි මට සිත් ගිමන්හල වගේ වැඩසටහන් ලැබිලා තියෙන්නේ. මට ඕනෑම චරිතයක්‌ හොඳට කරන්න පුළුවන්ය කියන විශ්වාසය මතයි අධ්‍යක්‌ෂවරු ඒගොල්ලන්ගේ නිර්මාණවලට කතා කරන්නේ. ඒ විශ්වාසය තහවුරු කිරීමයි මම කරන්නේ.

එදා සහ අද බලද්දී රංගන ශිල්පීන් ශිල්පිනියන් ආර්ථික අතින් ශක්‌තිමත්ද?

මම හිතන්නේ එදාට වඩා අද රංගන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ආර්ථික අපහසුතා තිබෙනවා. අද හුඟක්‌ නිර්මාණ කරන අය අදාළ ශිල්පීන්ට මුදල් ගෙවන්නේ නැහැ. අද සමහර රංගන ශිල්පීන් වැඩ කරන්නේ කුලීකාරයෝ වගේ. මම කුලීකාරයෝ කියලා හෑල්ලු කරනවා. නෙවෙයි. නිර්මාණයට එකතු වෙලා හවසට ගෙදර යද්දී දවසේ පඩිය දෙනවා. සමහර අයට ඒකත් නැහැ. අතින් සල්ලි දීලා රඟපාන අයත් ඉන්නවානේ.

ඔබ ව්‍යාපාරික කාන්තාවක්‌

ඔව් මම ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනවා. මම මේ ක්‌ෂේත්‍රයේ මුලින්ම උපයපු මුදල රුපියල් දාහයි. මම එදා ඉඳලා මට යම් මුදල් වටිනාකමක්‌ තියාගත්තා.

මම අයකරන මුදලක්‌ තිබෙනවා. ඒ නිසා මගේ වටිනාකම හැකියාව මම පාවා දෙන්නේ නැහැ. සල්ලි අරගෙන රඟපානවා මිසක සල්ලි දීලා රඟපාන්න මම යන්නේ නැහැ. ඒ නිසා මම අද ඉන්න ස්‌ථාවරය ගොඩනඟාගෙන තිබෙනවා.

ඔබත් ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනයට යනවා කියලා ආරංචියි

ඔව් මම පෙර සූදානම්වීම් කරනවා. ඇත්තටම මේ ටෙලි නාට්‍ය අධ්‍යක්‌ෂණය කරන්නයි මම හිතුවේ. ඒත් මගේ කාර්යබහුලත්වය ඊට බාධාවක්‌. මට ස්‌වේතාගේ වැඩ තිබෙනවා. ඒ නිසා අධ්‍යක්‌ෂණයට පසුව අත ගහනවා. ළඟදීම ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කරනවා.

අද ටෙලි නාට්‍යය නිෂ්පාදනය විලාසිතාවක්‌ වෙලා නේද?

ඔබ ඔය කියන්නේ ක්‌ෂේත්‍රයේ අය ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීම ගැන වෙන්න ඇති. ඔය ක්‌ෂේත්‍රයේ අය නිෂ්පාදය කරන ටෙලි නාට්‍යය ඒ අයගේ නොවෙයි. යම් යම් පුද්ගලයන් ඒ අයව හසුරුවනවා. මේ ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයෝ නිර්මාණ කරලා ගෙවල් පවා බැංකුවලට සින්න වුණු බව අපි අහලා තිබෙනවා. දැකලා තිබෙනවා. වෙනත් අය කරන වැඩවලට නම යනවා එච්චරයි.

ටෙලි නාට්‍යය කලාව බිඳවැටිලා. එය ගොඩගන්න යෝජනා ඔබට තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්. මම වසර විස්‌සකට වැඩි කාලයක්‌ ක්‌ෂේත්‍රයේ ඉන්නවා. ඒත් කිසි කෙනෙක්‌ මගේ අත්දැකීම් බෙදාගන්න කතා කරලා නැහැ. විවිධ සංවිධාන තියෙනවා. ඒත් මම ඒ සංවිධානවල නැහැ. මට ආරාධනා කරන්නේ නැහැ. සමහර විට ඒ මම ඇත්ත කතා කරන නිසා වෙන්න ඇති.


සුගත් ශාන්ත මොරගහකුඹුර

පිංතූර - ජූඩ් ඩෙන්සිල් පතිරාජ


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money