Sunday, October 16, 2011

ලබන අවුරුද්දේ මම බඳිනවා

අනුෂා දමයන්ති

පසුගියදා නිමාවුණු “ඩාන්සින් ස්ටාර් ඩාන්ස්” නර්තන තරගාවලියේ ජයග්‍රාහිකාව ලෙස කිරුළ හිමිකරගත්තේ ඇයයි. ඇයගේ ජයග්‍රහණය කිසිදු විවාදයකින් තොරව මුළු රටම පිළිගත්තේ ඇය සතු නර්තන හැකියාව නිසාමය. ඇය අනුෂා දමයන්ති. ඉතා නිහතමානී කලාකාරිනියක වන අනුෂා ක්ෂේත්‍රයේ සැමගේ සිත් දිනා ගැනීමට සමත් වූ තැනැත්තියකි. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට එක්වන්නේ අනුෂා දමයන්ති නම් වූ මෙම දක්ෂ රංගන නර්තන ශිල්පිනියයි. සිනමා නිළියයි.

අනුෂා කොහොමද මේ දවස්වල කාලය ගත වෙන්නෙ?
මේ දවස්වල මම තරමක් කාර්යබහුලයි. ‘මිණිපුර හටන’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම ඉදිරියේදී පැවැත්වෙන නර්තන ප්‍රසංග සඳහා පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. ඒ වගේම තවත් චිත්‍රපටයක රූපගත කිරීම්වලටත් සහභාගි වෙනවා. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට 7 ක් තිරගත වීමට පෝලිමේ තියෙනවා.
“ඩාන්ස් ස්ටාර් ඩාන්ස්” තරගාවලියේ හොඳම තරුව ලෙස අභිෂේක ලැබීමට ඔබ මොන වගේ කැපකිරීමක් ද කළේ?
විශාල කැපකිරීමක්, උනන්දුවක් ඒ ප්‍රසංගය වෙනුවෙන් මම දැක්වූවා. ඒ අවුරුද්ද පුරාම මම හිටියෙ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගයත් එක්ක. එවැනි කැපකිරීමක් කළ නිසයි මට ඒ තරගය ජයගන්න ලැබුණේ.
“ඩාන්ස් ස්ටාර් ඩාන්ස්” තරගාවලියට ඔබ ඉදිරිපත් කළ නර්තන නිර්මාණය කළේ කවුද?
ඒ සෑම නර්තන නිර්මාණයක්ම කළේ මම. ඒ වගේම නර්තන සඳහා අඳින ඇඳුම්, වේදිකා පසුතල පිළිබඳ අවසන් තීරණය ගත්තෙත් මමමයි. මේක නර්තනය තුළ මා තනිවම කළ සටනක් කියන්න පුළුවනි.
ඔබට ජයග්‍රහණය ලැබෙයි කියල ඔබ විශ්වාස කළා ද?
මීට පෙර නර්තන තරගාවලියකදී මට නියම තැනක් නොලැබුණු විට මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් ගොඩක් කනගාටු වුණා. නමුත් මේ නර්තන තරගාවලිය ගැන මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් විශාල බලාපොරොත්තුවක් තබා තිබුණා. මටත් වඩා මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන්ට මා ගැන විශ්වාසයක් තිබුණා. ඒ නිසා මම මහන්සි වෙලා නර්තන පුහුණු වුණා. එවිට මටත් කිසියම් විශ්වාසයක් ආව මේක ජයග්‍රහණය කරන්න පුළුවනි කියලා. මේ ජයග්‍රහණය මම තනියෙන් ලබාගත් එකක් කියල මම කොහෙත්ම හිතන්නෙ නෑ. මම හිතන්නෙ මේ ජයග්‍රහණය මට උදව් කළ සැමගේ ජයග්‍රහණයක් කියල.
අවසන් මහා තරගයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ ඔබට ඇතිවුණු හැඟීම මොකක්ද?
ඒ අවස්ථාවේ ඇතිවුණු හැඟීම විස්තර කරන්න අමාරුයි. ඒක ඒ තරම්ම ආස්වාදජනක හැඟීමක්. මට මෙතනදි තියෙන ලොකුම සතුට තමයි මගෙ අම්මගෙ බලාපොරොත්තුව ඉටු කරන්න ඉඩ ලැබීම. ‘අනුෂා ඔබයි ජයග්‍රහණය කළේ’ කියල නිවේදනය කරන විට එකවරම සිහියට නැඟුණේ මගෙ අම්මව.
ඔබේ ජයග්‍රහණය ගැන ඔබ තරම්ම සතුටු වුණු ඔබේ සමීපතමයා කවුද?
ඒ මගේ අම්මා. මගේ ජයග්‍රහණයේ නියම හිමිකාරිය ඇය. ඒ නිසයි මම හැම විටම කියන්නෙ මේක මගෙ අම්මගෙ ජයග්‍රහණයක් කියල. මම මේ වැඩසටහනට සහභාගි වෙන්න මුලින්ම අකැමැති වුණා. හැබැයි මට කළ ආරාධනයට මම ස්වර්ණවාහිනියට ස්තුතිවන්ත වෙනවා. මම බෑ කියද්දි මට යන්න එපා කියල ගොඩක් දෙනෙක් කියද්දි, නැහැ ඔයා යන්නම ඕන මේ වැඩසටහනට කියල මාව උනන්දු කළේ අම්ම. ඒ නිසයි මේ තරගයේ නියම ජයග්‍රාහිකාව මගේ අම්ම වෙන්නෙ.
තරගාවලියේ අවසානයෙන් පසුව එහි ප්‍රතිඵල ගැන කිසිම කතාබහක් ඇතිවුණේ නෑ. ඔබ කොහොමද ඒක දකින්නෙ?
ඒක සුවිශේෂි දෙයක්. ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන ස්වර්ණවාහිනියෙ වැඩසටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර මහතාට. මෙම වැඩසටහන “රියැලිටි” කියන වචනයට නියම අර්ථකථනයක් ලබාදුන් වැඩසටහනක්. සෑම තැනකදීම පූර්ණ විනිවිද භාවයකින් මෙම වැඩසටහනේදී කටයුතු සිදුවුණා. අවසන් මහා තරගයේදී එස්. එම්. එස්. ලැබුණු ආකාරය සෑම තරගකරුවකුගේම තරගකාරියකගේම පවුලේ එක් සාමාජිකයකුට නරඹන්න අවස්ථාව ලැබුණා. මේ තරගයේ අව්‍යාජ භාවයට එය කදිම උදාහරණයක්.
මෙම තරගාවලියේ එක් නර්තනයක් සඳහා ඔබ වේදිකාවට නයෙක් ගෙනාවේ ඇයි?
මට අවශ්‍ය වුණා පේ‍්‍රක්ෂකයන්ට සජීවී අත්දැකීමක් ලබා දෙන්න. ඒ වගේම චිත්‍රපටවල මෙවැනි දර්ශන තිබෙනවා නම් වේදිකාවේ අපට මේක කරන්න බැරි ඇයි කියලා මට හිතුණා. ඒ නිසයි මම එක් අවස්ථාවකදී නයෙක්, තවත් අවස්ථාවකදී අශ්වයෙක් වේදිකාවට ගෙනාවෙ. අවසන් මහා තරගයේදී මම අලි පැටියෙක් ගේන්න අදහස් කළා. ඒත් ඒකට මට අවසර ලැබුණේ නෑ.
ඒක පුද්ගල නර්තන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න අනාගත බලාපොරොත්තුවක් නැත් ද?
අනිවාර්යෙන්ම මම ඒක පුද්ගල නර්තන ප්‍රසංගයක් පවත්වනවා. ඒ සඳහා අවශ්‍ය කාලය දැන්ම සොයාගන්න අමාරුයි. ඒත් ළඟදීම ඒක මම කරනවා.
දැන් ඉතින් තනිකඩව හිටිය ඇති නේද?
ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. කලා ශිල්පිනියක් හැටියට මම ටිකක් කාර්යබහුල වුණු නිසයි මගේ විවාහය ටිකක් ප්‍රමාද වුණේ. හැබැයි ලබන වසරේ මගේ විවාහය සිදුවේවි.
කොහොමද ඔබ ජීවිතය දකින්නෙ?
සොබාදහමට අනුගතව අවංකව ජීවත්වන කෙනෙකුට කවදාවත්ම වරදින්නෙ නැති බවයි මගේ හැඟීම. කැපකිරීම් කරන්න පුළුවන්නම් ඕනෑම ජයග්‍රහණයක් ලබාගන්න පුළුවනි කියලයි මම හිතන්නෙ.
මොනවද ඉදිරි බලාපොරොත්තු?
මගේ ඒක පුද්ගල නර්තන ප්‍රසංගය ඉදිරිපත් කිරීම, චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම, මගේ නර්තන දැනුම අනෙක් අයට බෙදා දීම වැනි බලාපොරොත්තු කීපයක්ම තියෙනවා.


ඡායාරූපය - බර්නාඩ් ශ්‍රී කාන්ත

Copy rights - Silumina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money